බරපතල චෝදනා සහ නඩුකර තිබෙන දේශබන්දු තෙන්නකෝන් වැනි නිලධාරියකු වැඩබලන පොලිස්පති ලෙස වත්මන් ජනාධිපතිවරයා විසින් පත්කිරීමත්, එම පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් අනුමත කිරීමත් මහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංගනය කිරීමක් බව මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ඊයේ (18) නීතිඥ සමූහිකය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මෙම අදහස් දක්වමින් එතුමිය කියා සිටින්නේ 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා නැවත වරක් ජනතාවගේ ඉල්ලීම මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කලේ පොලිස්පති වැනි ඉහල තනතුරු පත්කිරීමේදී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, විධායකයේ ඒකමතික අතපෙවිමකින් තොරව එම පත්කිරීම සිදුකිරීමට ඉහල මණ්ඩලයක අනුමැතියක් අවශ්‍ය නිසා බවයි.

වැඩිදුරටත් එතුමිය අවධාරණය කරමින් කියා සිටියේ මෙම අත්තනෝමතික පොලිස්පති පත්කිරීම හරහා ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණක් නොව ශ්‍රී ලංකාව කැමැත්තෙන් පිළිගෙන තිබෙන ජාත්‍යන්තර මූලික අයිතිවාසිකම් නීතියත් පවා උල්ලංගනය කර ඇති බවත් මේ හරහා ලංකාවේ මානව හිමිකම් පිළිබඳව ජාත්‍යන්තරය තුල කළු පැල්ලමක් ඇතිවන බවත් රට බරපතල ආර්ථික අර්බුදයක සිටින මොහොතක අත්‍යවශ්‍ය ආයෝජකයින් පවා මෙරටට ගෙවගනිමේදී මෙම පත්කිරීම බලපනුලබන බවත්ය.