අප රටේ දුෂණ විරෝධි ක්‍රියාදාමය අදටත් දුර්වල මට්ටමක පවතින බවත් නව පනතක් සම්මත කර ගත්තත් එය ප්‍රමාණවත්ද කියා ගැටලුවක් ඇති බවත් මෙම දූෂණ විරෝධී ක්‍රියාදාමය නිර්මාණය විය යුත්තේ පාර්ලිමේන්තු අණපනත්වලින් නොව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතිය තුළ අඩංගු විය යුතු වැඩපිළිවෙළකින් බවත් එය පහසුවෙන් වෙනස් කළ නොහැකි පරිච්ඡේදයක් ලෙස සකස් විය යුතු බවත් එවිට දූෂණ විරෝධී ක්‍රියාදාමය ස්වාධීන මෙන්ම ශක්තිමත් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේ අණපනත්, බහුතරයකින් වෙනස් කිරීම පහසු දෙයක් නිසා දුෂණ විරෝධී ක්‍රියාදාමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහසුවෙන් වෙනස් කළ නොහැකි නීතියක් බවට පත් කර මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය මෙන් ශක්තිමත් කළ යුතු බවත් එවිට ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවේ බහුතරයකට වෙනස් කළ නොහැකි බවත් එය සමගි ජන බලවේගයේ අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සමගි ජන බලවේගයේ දේශපාලන වැඩපිළිවෙළට ක්‍රියාකාරීව සහාය පළ කිරීම සඳහා එක් වූ අවස්ථාවේදීය.

මූලික අයිතිවාසිකම්වල අර්ථදැක්වීම පව වෙනස්විය යුතුයි

අප රටේ මූලික අයිතිවාසිකම් නිර්මාණය වී ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ලෙස බැවින් මෙම මාතෘකාව වඩා පුළුල් වී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වලට ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික, සෞඛ්‍ය හා අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් විය යුතු බවත් එවිට දූෂිත හා වැරදි ක්‍රියාදාමයන්ට බාධාවක් බවත් එවිට මෙම ක්ෂේත්‍ර වඩාත් විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙසේ මෙම කොටස් මූලික අයිතිවාසිකම් බවට පත් කළ විට පාලකයන් මෙන්ම නිසි බලධාරීන්ට එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දැඩි පීඩනයක් ඇති කරන බවත් එය එම ක්ෂේත්‍රයන්ගේ දියුණුවට හේතුවක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දූෂිත සෞඛ්‍ය ඇමති මෙන්ම ඔහු රැකපු 113ත් වැරදියි

එමෙන්ම සෞඛ්‍ය ඇමතිවරයාගේ විශ්වාසය භංග වී තිබියදී ක්‍රියාකලාපයේ විනිවිදභාවය භංග වී තිබියදී අතිශය දූෂිත ක්‍රියාදාම රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවන විට 113ක් එය නොදැක සිටි බවත් මේ වංචාවලට සෞඛ්‍ය ඇමතිවරයා මෙන්ම එම 113 දෙනාම වගකිව යුතු බවත් එම දූෂිත ප්‍රතිපත්ති රැකින්න දුන් සහයෝගය අමතක කළ නොහැකි බවත් අද රටේ ක්‍රියාත්මක වන්නේ අතිශය දුෂිත රාජ්‍ය පාලනයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තම රැකියාවත් පරදුවට තමා වෛද්‍ය චමල් සංජීව ඉටු කළ මෙහෙය අගය කළ යුතුයි

බංකොලොත් රටක දූෂණය පිටු දැකීමේ අරමුණ සාක්ෂාත් කිරිම සඳහා කැපකිරීම් රැසක් ඉටු කරමින් තමන්ගේ රැකියා ගැනවත් නොසිතා අනිසි බලපෑම් මැද්දේ දූෂණ විරෝධී ගමනේ දී විශිෂ්ට කාර්යභාරයක් වෛද්‍ය චමල් සංජීව මහතා සිදු කළ බවත් නිදහසේ සිවිල් පුරවැසියකු ලෙස එතුමාගේ දූෂණ විරෝධී ගමන කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරිමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දූෂණ විරෝධී වැඩපිළිවෙළට නව ශක්තියක් ලබා දෙනවා

දූෂණය සිදුවන අවස්ථා ආයතන හා ස්ථාන පිළිබඳ දැන ගැනීමට සහ පියවර ගැනීමට විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බැවින් සමගි ජන බලවේග රජයක් තුළ දූෂණ විරෝධී වැඩපිළිවෙළ ස්වාධීනව රටේ දියුණුව උදෙසා තවදුරටත් ශක්තිමත් කිරීමට නෛතික බලයක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.