රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් පසු මේ වන තෙක් කර තිබෙන්නේ ණය නොගෙවා සිටීම සහ බදු අසීමිත ලෙස වැඩි කිරීම පමණක් බවත් රටේ ජීවන වියදම දිගින් දිගටම කඩා වැටෙමින් තිබෙන බවත් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා අවධාරණය කර සිටියේය.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නාලක ගොඩහේවා,

‘‘2015 – 2019 කාලයේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට කිව්වේ යහපාලන ආණ්ඩුව කියලා. වර්තමාන ආණ්ඩුවට කියන්න වෙන්නේ බදු පාලන ආණ්ඩුව කියලා මොකද ජනතාවට පීඩාවන ආකාරයේ බදු ප්‍රතිපත්තියක් වර්තමාන ආණ්ඩුව අනුගමනය කරන නිසා.

රජය ගන්නා ඕනෑම තීරණයකට විරුද්ධ වෙන්නේ නැති පාරට බහින්නේ නැති පිරිසක් රට තුළ සිටි නිසා ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න හරි දෙයක් කරන්න පුලුවන් ස්වර්ණමය අවස්ථාවක් වර්තමාන ආණ්ඩුවට තිබුණා. නමුත් අවසනාවකට රනිල් වික්‍රමසිංහට හරි දෙයක් පසුගිය වසර කිහිපය තුළ සිදුකරන්න නොහැකි වෙලා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති වූ පසු කරලා තිබෙන්නේ ණය නොගෙවා සිටිම සහ බදු අසීමිත ලෙස වැඩි කිරීම පමණයි. රට බංකොලොත් කියන දෙය ප්‍රකාශ කරලා ණය ගෙවීම නතර කරලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණ දවසේ ඉදන් රටේ ආර්ථිකය සංකෝචනය වෙමින් තිබෙන්නේ. රටේ ජීවන වියදම දිගින් දිගටම කඩා වැටෙමින් තිබෙන්නේ. අපනයනය කඩා වැටෙමින් තිබෙන්නේ. ලක්ෂ ගණනාවකට රැකියා අහිමිවෙලා තිබෙන්නේ.

රජය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියලා සිදුකලේ රටේ වැඩකරන ජනතාවගේ ඊ ටී එෆ් සහ ඊ පී එෆ් පහර දුන්න එකට පමණයි. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් වෙන කිසිදු දෙයක් සිදුවෙලා නෑ. බදු වැඩි කළාම , ණය ප්‍රතිව්‍යුගත කළාම ලංකාවේ සමස්ථ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 16 ක් අවුරුදු 5 ක් තුළ කපා හරවා ගන්නට පුලුවන් කියලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිව්වා. ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන කියන සියලු දේවල් රජය සිදුකළා. නමුත් ඩොලර් බිලියන 16 ක කපා හැරිමට රජය කටයුතු කරන්නේ නෑ. ඒ වෙනුවට ණය කල් දමා ගැනීමක් රජය සිදුකරලා තිබෙනවා. ණය කල් දමා ගැනිමත් 2024 මැද භාගයෙදී ගෙවන්න පටන්න අරගෙන තිබෙනවා.

රටේ ණය කවුරුත් කපා හැරීමට සුදානම් නෑ. ඒ වගේම ණය ගෙවා ගැනීමට රජයට ආදායමක්ද නැ. ආදායමක් ලබා ගන්න පසුගිය අවුරුදු කිහිපය තුළ ඇති කරලත් නෑ. ආර්ථිකය සක්‍රීය කරන ආකාරය , සුලු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයා ගොඩ ගන්න ආකාරය , ස්වයං රැකියා ගොඩගන්න ආකාරය , සමාගම්වල ආදායම වැඩි කරන ආකාරය ගැන කිිසිදු වැඩපිළිවෙලක් රජය ඉදිරිපත් කරලා නෑ. ඒ නොකරපු දේවල් වල ප්‍රතිඵල ඉදිරියේදී දකින්න පුලුවන් වෙයි.

මේ සියලු ප්‍රශ්න වලට විසඳුම වන්නේ රට ගොඩ ගන්න පුලුවන් කණ්ඩායමකට රට භාර දිමයි. දූෂණය නැති වංචාව නැති පලපුරුද්දක් තිබෙන , පිරිසක් එකතු කළ යුතුව තිබෙනවා. ජනතාව විදින පීඩනය දන්න නායකයෙක් සහ නායකයන් කණ්ඩායමක් රටට අවශ්‍ය වෙලා තිබෙනවා.

රටේ ආර්ථිය ගොඩ ගන්න පුලුවන් ඒ සඳහා විශාල වැඩ කොටසක් පසුගිය කාලය පුරා කරන්න තිබුණා. නමුත් අවාසනාවකට වර්තමාන රජය කිසිදු දෙයක් කළේ නෑ. රට ගොඩ ගන්න අවුරුදු 25 ක් බලාගෙන සිටිය යුතු නෑ. අපට අවශ්‍යයි රට ගොඩගන්න පුලුවන් පුළුල් සන්ධානයක්. ඒ සඳහා නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තීරණයක් අරගෙන තිබෙනවා රට ගොඩගන්න නිර්මාණය කරන පුලුල් සන්ධානයේදී ප්‍රධාන කාර්ය භාරය ඉටු කළ යුත්තේ ප්‍රධාන විපක්ෂය බව. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා ගණනාවක් පැවැත්වුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20 කට ආසන්න ප්‍රමාණයක් සමගි ජන සන්ධානයට එකතු වෙන්න මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටිනවා. ඒ අනුව අපි සමඟ වංචා දූෂණ චෝදනා නැති හොද කණ්ඩායමක් එකතුවීමට නියමිතයි. ජනතාවටත් අපි කියන්නේ අපි සමඟ එකතු වෙන ලෙසයි. රට ගොඩ ගන්න බැරි නෑ ඒ සඳහා නිවැරදි තින්දු තීරණ ගත යුතුයි.

රට ගොඩ ගන්න පුළුල් සංධානයක් ඇති කළ යුතු බව පාර්ලිමේන්තුවේ කණ්ඩායම් කිහිපයකට දැන් වැටහෙමින් තිබෙනවා. පුළුල් සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරයක් එකතු වෙයි කියලා මම විශ්වාස කරනවා.

සමගි ජන බලවේගය දෙස බැලුවහම පේනවා සමගි ජනබලවේගය තුළ ඉන්නේ තරුණ මන්ත්‍රිවරු පිරිසක්. ඔවුන් රට වෙනුවෙන් හැමදාම පාර්ලිමේන්තුවේදී කතා කළ පිරිසක්, ඔවුන් ජනතාව අතරට ගිහින් ඡන්දය ලබාගත්ත පිරිසක්. ඒ නිසා අපිට ඔවුන් සමඟ වැඩ කරන්න පුලුවන්. නමුත් ඒ පිරිසට පමණක් රට ගොඩ ගැනීමට කාර්යය සිදුකරන්න බෑ. ඒ නිසා පාර්ලිමේන්තුවේ සිටින දූෂණ වංචාවලට සම්බන්ධ නැති පිරිසක් සන්ධානයට එකතු කර ගත යුතුයි. අපි තෝරාගත් දේට අගය එකතු කිරීමක් මේ මොහොතේ සිදුකරමින් සිටිනවා.

ජනතාවට ඇතිවෙලා තිබෙන ආර්ථික පිඩනය තේරුම් ගන්න පුලුවන් වෙන්නේ සාමාන්‍ය ජනතාව සමඟ සිටින දේශපාලඥයින්ට පමණයි. සාමාන්‍ය ජනතාව නොසිටින පුද්ගලයින්ට සාමාන්‍ය ජනතාවගේ දුක තේරුම් ගන්න බෑ.
ඒ පිළිබඳව ඔවුන්ට කියා දීමට උත්සහ කරලා වැඩකුත් නෑ. තව මාස කිහිපයකින් පන්නලා දාන එක තමයි කරන්න තියෙන්නේ. ‘‘