මේ රටේ දරුවන් 40,000 ක් අධි මන්දපෝෂණයෙන් පෙළෙන බවත් පවුල් 61000ක් කුමන ආකාරයක හෝ  ආහාරයක් ලබා ගැනීමේ නොහැකියාවෙන් පෙළෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න අද පාර්ලිමේන්තුවේ දී  පැවසුවාය.

ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව හා ලෝක ආහාර වැඩසටහන කළ සමීක්ෂණය උපුටා දක්වන මන්ත්‍රීවරිය  සෑම මිනිසෙකුටම අවශ්‍ය අවම පෝෂණය සහිත ආහාර වේළකට වැය වන මුදල 156% කින් ඉහළ ගොස් අති බව පෙන්වා දුන්නාය.

ජාතික සැපයුම් ජාලය මුලුමනින් බිඳ වැටී ඇති බව කී ඇය ලබන කන්නයේ ගොවිතැන වෙනුවෙන් පමණක් ඉන්ධන නැවක් අවශ්‍ය බවත් එය ලබා නොදෙන්නේ නම් ආහාර නිශ්පාදන  හිඟයත් සමග ඇතිවන  මන්දපෝෂණය පිළිබඳ ගැටලුව බිහිසුණු එක්ක වනු ඇති බවත් කීවාය.

මුහුදේ ඉන්නා  මාළුටික අල්ලා ගැනීමට ඉන්ධන නොමැති රටේ, වගාව සඳහා ගොවිබ්මි සකස් කිරීමට ඉන්ධන නොමැති රටේ  සැලසුම කුමක් දැයි ඇය ප්‍රශ්න කළාය.

මන්ත්‍රීවරිය මෙසේ ද කීවාය.

අපේ රටේ ආහාර සහ පෝෂණය පිළිබඳ ප්‍රශ්නය ‘ආහාර නැතිකමට වඩා ආහාර සඳහා ලඟාවීමට මිනිසුන්ට හැකියාවක් නොමැතිකම‘ යි.

ලංකාවේ ජනතාවගේ පෝෂණ තත්වය ලතින් ඇමරිකාව, අප්‍රිකාව, කාන්තාර කලාප, ආක්ටික් කලාප, පැසිපික් කලාපයට වඩා පහලට වැටුනේ කොහොමද? යුද්ධයක් තියෙන රටවල්වලට වඩා නරක් වුනේ කොහොමද?

ලංකාවේ යුද්ධය තිබුණ කාලයටත් වඩා රට රකින් විරුවාගේ කාලයේ මන්ද පෝෂණය වැඩි වුනේ කොහොමද?

කොරෝනාවලින් පස්සේ කාබනික කෘෂිකර්මය කියන ‘අමන තීරණය‘ නිසා අපේ රටේ ආහාර නිෂ්පාදනය 40% කින් පහත වැටිලා.

මාතලේ, මහියංගනය, මහවැලි කලාප, මොණරාගල තමයි වැඩිපුරම බඩඉරිඟු හදන්නේ. දැන් අස්වැන්න 75% කින් අඩුයි. පාර අයිනේ තම්බපු ඉරිඟු කරලක් නැත්තේ ඒ නිසයි. බඩ ඉරිඟු වලින් තමයි ත්‍රීපෝෂ හදලා බඩදරු අම්මලා , දරුවෝ පෝෂණය සපයා ගත්තේ. කුකුල්ලුන්ට කන්න දුන්නේ.

රටේ මන්දපෝෂණය අප්‍රිකාවට, ලතින් ඇමරිකාවට, යුද්ධයක් තියෙන ඇෆ්ගනිස්ථානයට, ලිබියාවට, ඉරානයට වඩා වැඩි වුණේ රටේ කෘෂිකර්මය විනාශ කරපු තීරණ නිසයි.

මන්දපෝෂණය නැති කරන්න නම්,

  1. ආහාර සඳහා ප්‍රවේශය / ආහාර මිලදී ගන්න මුදල් ලැබෙන්න ඕනි.
  2. මන්දපෝෂණය, අධිමන්දපෝෂණය තියෙන අයට අතිරේක පෝෂණය ත්‍රීපෝෂ, බිත්තර, මස්, මාළු දෙන්න අවශ්‍යයි.
  3. දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයකින් රටේ ආහාර පුරුදු, අදහස්, මතවාද වෙනස් කරන්න ඕනි.

මොනම ක්‍රමයකින්වත් ආහාර සපයා ගත නොහැකි, කන්න නැති පවුල් 61,000 ක් රටේ ඉන්නවා කියලා ජනාධිපතිතුමා අය වැය කථාවේ දී කිව්වා.  මේ අයට තවත් දවසක් හෝ ප්‍රමාද නොකර ආහාර සැපයීම රටේ ප්‍රමුඛතාව විය යුතුයි.

රටේ එක පැත්තකට කන්න නෑ. අනික් පැත්තේ ආහාර විකුණා ගන්න බෑ. මුහුදේ මාළු තියෙනවා. හැබැයි අල්ලන්න යන්න තෙල් නෑ. බිඳ වැටිච්ච සැපයුම් ජාලය කලමනාකරණය කර ගන්න තවම රජයට බැරිවෙලා තියෙනවා.

දැන් වැස්ස වැටෙනවා. රටම වගාවට, හේන් වගාවට, කුඹුරු වගාවට සුදානම් වෙනවා.  මාතලේ දිස්ත්‍රික්කය විතරක් ඉඩම් ටික හාන්න තෙල් බවුසර් 560 ක් ඕනි.  අම්පාර, මොණරාගල, මහියංගනය, පොලොන්නරුව, අනුරාධපුර සමහර ප්‍රා.ලේ. කොට්ඨාශයකට ඉඩම් හාන්න විතරක් බවුසර් 30 සිට 45 දක්වා ඩීසල්, භුමිතෙල් අවශ්‍යයි.

වී ගොවිතැනට විතරක් ඊලඟ කන්නට බිම සකස් කරන්නට ඩීසල් ලීටර් 51,675,000 ක් ඕනි.  හෙක්ටයාරයක් හාන්න ලීටර් 65 ක් ඕනි.  මේ සැරේ ගොවියෝ රොටර් කන්නේ නැතුව වී වපුරනවා. අක්කරයක් රොටරි කරන්න රු. 40,000 ක් යනවා.

බඩඉරිඟු හෙක්ටයාර් ලක්ෂයක් හදනවා කියලා රජය කියනවා.  එහෙම හදන්න නම් හෙක්ටයාරයකට ලීටර් 25 ක් අවශ්‍යයි. ඒ කියන්නේ තෙල් ලීටර් ලක්ෂ 25 ක් ඕනි. මේ දෙකට විතරක් ඩීසල් නැවක් ඕනි. සාගතය නැති කරන්න නම් කෘෂිකර්මයට විතරක් ඩීසල් නැවක් වෙන් කරන්න වෙනවා.

අගමැතිතුමා, ඛනිජ තෙල් ඇමතිතුමා, කෘෂිකර්ම ඇමතිතුමා,

මේ කන්නයට බිම සකස් කරන්න තෙල් නැවක් දෙන්න ඔයාලට පුළුවන් ද? මේ විවාදයේ දී මේ ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් අවශ්‍යයි.  මේවාට උත්තර දෙන්න එකම ඇමති කෙනෙක්වත් පාර්ලිමේන්තුවේ නෑ. ආණ්ඩුවේ මුල් පේළි දෙකම හිස්.

ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, පිලිප් ගුණවර්ධන, සී.පී. ද සිල්වා, හෙක්ටර් කොබ්බෑකඩුව, මෛත්‍රීපාල සේනානායක, ගාමිණී දිසානායක, මාවතේ ගිහින් රටේ සාගින්දර නිවනවාද? නැත්තම්, රාජපක්ෂ මාවතේ ගිහින් මන්දපෝෂණය වැලඳ ගන්නවාද? කියන ප්‍රශ්නයට උත්තරය වැදගත්.