බංකොලොත් වූ රටේ එක මන්ත්‍රීකමක්වත් ලබා ගත නොහැකි වූ පුද්ගලයා බංකොලොත් කළ පුද්ගලයන් සමඟ එකට එකතු වී ජනාධිපතිකම් ලබා ගෙන ඒ ආණ්ඩුවේ පුද්ගලයන් සමඟ එකට එකතු වී ජනතාවට නොමිලේ ලබා දෙන බෙහෙත්වලින් පවා හොරා කන බවත් හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් වැනි ඖෂධ රැසකින් මෙන්ම මෙරෆනම් නම් ඖෂධයකින් පවා හොරා කා ඇති බවත් ඩොලර් මිලියන ගණන් වියදම් කර ගෙනෙන ඖෂධ වැරදි ආකාරයට ගබඩා කිරීම තුළ අදාළ ඖෂධ විනාශ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි දූෂණ ක්‍රියා දැක දැක සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ විට බාල බෙහෙත් වෙනුවෙන් ආණ්ඩුවේ 113 දෙනක-ු සිටගත් බවත් මින් නොනැවතී අප රට වෙන්දේසි ලන්තයක් බවට පත් කර ඇති බවත් ගාල්ල ගිංතොට ෆ්ලයිවුඩ් කෝපරේෂන් එකේ අක්කර 17ක් ලක්ෂ 82ක සින්නක්කරව විකුණා ඇති බවත් ඒ ව්‍යාපාරිකයා එම භූමිය වෙන්දේසි කරන බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ විභාගයක් යන අතරතුර වෙන්දේසි කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇමතිවරු හිනාවෙවි එක එක තැන් විකුණන බවට සතුටින් කියන බවත් රටේ පුරවැසියන්ට සහ දූදරුවන්ට අයිති ජාතික සම්පත් වෙන්දේසි කර ඇති බවත් මේ ආකාරයට දේපල සම්පත් විකිණිම දැවැන්ත ඛේදවාචකයක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (13) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 94 වැනි අදියර යටතේ රත්නපුර, නිවිතිගල ඇලපාත මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

වැඩ බැරි මිනිසුන්ගේ සුරංගනා කතා අහලා මිරිගු පස්සේ දුවලා විනාශ වෙනවද කියා ජනතාව තීරණය කරන්න

ජනතාව ඉල්ලා සිටි ක්‍රමයේ වෙනස සමගි ජන බලවේග පක්ෂයෙන්ම ආරම්භ කළ බවත් තනතුරු අපේක්ෂා නොකර කයිවාරු නොගහ වැඩ කළේ සමගි ජන බලවේගය බවත් 75 වසරක ඉතිහාසය තුළ විපක්ෂයේ සිට ජනතාව වෙනුවෙන් සේවය කළේ සමගි ජන බලවේගය බවත් එම නිසා වැඩක් නොකරන පුද්ගලයන්ගේ සුරංගනා කතා අසමින් නැවත වරක් මිරිගුවක් පසුපස දුවමින් 2019 මෙන් සිහින ලෝකයක පාවෙමින් සිට නැවත වරක් රට විනාශ මුඛයට ගෙනයනවා යන තීරණය ජනතාව විසින් ගත යුතු බවත් සුරතලයට වින්දනයට ආශ්වාදයට වචනවලට බොරු හරඹවලට රට තවදුරටත් රැවටෙනවා නම් තමා ළඟ ඒවාට පිළිතුරු නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දරුවන් වෙනුවෙන් ඇත්ත කතා කළ යුතුයි

එක් පාර්ශ්වයක් සිංහල පමණයි කියන විට තවත් පාර්ශ්වයන් දමිළ පමණයි කියන බවත් මේ ආකාරයෙන් තවත් වසර 75ක් පරණ ගමනම යා හැකි නමුත් වැදගත් දේ ඒ මත එල්බ ගෙන නොසිතා නව යුගයට ගැලපෙන ලෙස වෙනස් වීම බවත් මේ කතා කියන විට ඡන්ද නොලැබී යා හැකි නමුත් දරුවන් වෙනුවෙන් සත්‍ය කතා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මම කියු දෙයක් කවදාවත් වැරදිලා නැහැ

ජනතාව නැවත වරක් ගොනාට ඇන්දවීමට නැවතත් සූදානම් නමුත් ඒ දේවල්වලට අහු නොවන ලෙසත් කොරෝනා සමයේ සිට තමා කියූ සෑම දෙයක්ම හරි ගිය නිසා මේ දේවල් නොසලකා නොහරින ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 94ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 926ක් වැය කර තිබේ.