යෝජිත විදුලිබල පනතේ සංශෝධනය රැසක් සිදුකළ යුතුව ඇති බවත් එම පනත විනිවිදභාවයකින් සහ දේශපාලන බලපෑමකින් තොරව සකස් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා අද (03) පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය.

‘‘ශ්‍රී ලංකාව කාර්මික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න සහ ශ්‍රී ලංකාව තරඟකාරී මට්ටමකට ගේන්න නම් රටේ තිබෙන ප්‍රාග්ධන පිරිවැය අඩු කළ යුතුයි. ඒ වගේම බලශක්ති පිරිවැයත් අඩු කළ යුතුයි. එසේ සිදුකළොත් ශ්‍රී ලංකාව නිෂ්පාදිත කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරිමට හැකියාව ලැබෙනවා.

රජය විදුලි බල පිරිවැය අඩුකරන්න යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. විදුලිබල පනතක් ගේන්නත් ආණ්ඩුව උත්සහ කරලා තිබෙනවා. විදුලි බල පිරිවැය අඩුකරන්න රජය ගෙන තිබෙන සමහර යෝජනා පිළිබඳව සෑහීමකට පත්වෙන්න පුලුවන්. නමුත් මේ කටයුතුවල විනිවිද භාවයක් නොමැති නිසා ජනතාව තුළ විශ්වාසයක් ඇති වෙලා නෑ. ජනතා විශ්වාසය දිනා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ආණ්ඩුව රටේ ජනතාව අතර විශ්වාසයක් ඇති කරන්නනම් විදුලිබල අංශය තුළ ගෙනියන ක්‍රියාමාර්ග විනිනිදභාවයකින් ක්‍රියාත්මක කළ යුතුයි.

විදුලි බල ඇමැතිවරයා ඉන්දියාවේ අදානි සමාගම සමඟ ගිවිසුම් ගත වෙලා මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් මන්නාරමේ ආරම්භ කිරිමට සුදානම් වනවා. මෙම ව්‍යාපෘතිය පිළිබඳව ගැටලු කිහිපයක් ඇතිවෙලා තිබුණා. මෙම ව්‍යාපෘතිය ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව තමයි ක්‍රියාත්මක කරන්න යන්නේ. මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඇමැතිවරයා ව්‍යවස්ථාදායක සභාවට හරි තොරතුරු සහිතව ඉදිරිපත් කරලා නෑ. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ඒකකයකට ගෙවන මිල සම්බන්ධයෙන් දැනුම්වත් කරලා නෑ. සුළං බලයෙන් ලබාගන්නා විදුලි ඒකකයක් සඳහා ඇමරිකානු ඩොලර් ශත 12 ක් ලබාදෙන බව මුලින් ගිවිසුම් ගත වෙලා තිබෙනවා. පසුව ඇමරිකානු ඩොලර් ශත 9 කට අඩු කරලා තිබුණා. ඉන්පසුව ඇමරිකානු ඩොලර් ශත 8.8 කට ගිවිසුම් අත්සන් කරන්න යන බවට දැනට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා.

සමහර රටවලින් ඊට වඩා අඩු මිලකට විදුලි ඒකකයක් ගන්න පුලුවන් කියලා රටේ ආර්ථික විශේෂඥයින් සහ විදුලි බල ක්ශ්‍රේත්‍රයේ විශේෂඥයින් ප්‍රකාශ කරනවා. රටට පුනර්ජනනීය විදුලි බල ශක්තීන් රටට අවශ්‍යයි , රටේ විදුලිබල ශක්ති පිරිවැය අඩු කරන්න මෙවැනි දේවල් සිදුකළ යුතුයි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව උපක්‍රමශීලිව තාක්ෂණිකව අදානි සමාගම සමඟ සාකච්ඡා කළොත් ලංකා විදුලිබල මණ්ඩලයට හොද මිලකට විදුලි ඒකකයක් ගැනීමේ හැකියාව තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය තවත් මෙගාවොට් 50 විදුලිබල ව්‍යාපෘතියක් සඳහා ටෙන්ඩර් කැඳවලා තිබෙනවා. එයත් සුළං බල ව්‍යාපෘතියක්. ජාත්‍යන්තර ටෙන්ඩරයක් තමයි විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ අනුව මෙම ව්‍යපෘතිය සඳහා ජාත්‍යන්තරේ හොද සමාගම් මේ සඳහා ඉල්ලුම් කරනවා. මේ ටෙන්ඩරය මැයි 9 වැනිදා එම ටෙන්ඩරය සම්පුර්ණ වෙනවා. එම ටෙන්ඩරය හරහා මෙම ව්‍යපෘතියට තරඟකාරී හොද මිලක් ලැබෙනවා. ඒ නුව අදානි සමාගමටත් එම මිල ගණන්වලට විදුලි ඒකකයක් සපයන්න කියලා ආණ්ඩුවට කියන්න පුලුවන්.
මෙගාවොට් 50 ව්‍යාපෘතියෙන් විදුලි ඒකකයක් ඩොලර් ශත 7 කට ආසන්න මුදලකට ලබාගන්න පුලුවන් කියලා අපි උපකල්පනය කරනවා. අදානි සමාගමෙන් ඩොලර් ශත 8.8 කට ලබාගන්නා විදුලි ඒකකයක් මෙගාවොට් 50 ව්‍යාපෘතියෙන් පසුව තවත් මිල අඩු කර ගන්න පුලුවන් කියලත් අපි විශ්වාස කරනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ටෙන්ඩරය තිබෙන්නේ මෙගාවොට් 50 කට. ඒ සඳහා අවුරුදු 20 ක ගිවිසුමක් තමයි අත්සන් කරන්න යන්නේ. නමුත් අදානි සමාගමේ ව්‍යාපෘතිය සඳහා අවුරුදු 25 ක ගිවිසුමක් තමයි අත්සන් කරන්න යන්නේ. ඒ නිසා අදානි සමාගමට මෙගාවොට් 50 ව්‍යාපෘතියට වඩා අඩු මුදලකට විදුලි ඒකකයක් සපයන්න පුලුවන් කියලත් අපි විශ්වාස කරන්න. මේවා පිළිබඳව නිවැරදිව සාකච්ඡා කරන්න ආණ්ඩුව සහ ඇමැතිවරයා දැන ගත යුතුයි.

අදානි සමාගමේ මෙගාවොට් 500 ව්‍යාපෘතියෙන් දළ වශයෙන් වසරකට ගිගාවොට් පැය 1971 ක් නිෂ්පාදය කරන්න පුලුවන්. විදුලි ඒකකයක් සඳහා ඩොලර් ශත 8.8 කට ගිවිසුම අත්සන් නොකර විදුලි ඒකකයක් ඩොලර් ශත 7 කට ගත්තානම් ඩොලර් ශත 1.88 ක් ඉතුරු වෙනවා රටට. ඒ අනුව අවුරුදු 25 කදී රටට ඉතිරි වන මුදල රුපියල් බිලියන 266 ක්.

විදුලි බලය ප්‍රතිව්‍යහගතකරණය ඉතාම වැදගත් දෙයක්. රටේ නිෂ්පාදන පිරිවැයට මෙය බලපානවා. තරඟකාරී මට්ටමකට ශ්‍රී ලංකාව ගමන් කිරිමටනම් ලෝකයේ වැසී යන කර්මාන්ත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන එන්නේ නැත්තේ රටේ තිබෙන දේශපාලන අස්ථාවරත්වය නිසා සහ නිෂ්පාදිත තරගකාරීත්වයක් නොමැති නිසා. මෙම නිෂ්පාදිත තරඟතාරිත්වය ඇති කර ගත්තේ නැත්නම් ණය උගුලෙන් ඊළග පියවරට යන්න බැරි වෙනවා.

විදුලි බල පනතින් ජාතික විදුලි උපදේශක සභාවක් පිහිටුවන් යෝජනා කරලා තිබෙනවා. විදුලි බල ඇමැතිවරයාට උපදෙස් දෙන්න තමයි මේ කමිටුවන පිහිටුවන්නේ. නමුත් 2002 දී කරු ජයසුරිය විදුලි බල ඇමැතිවරයා ලෙස සිටින විට රටට ගැලපෙන විදුලි බල පනතක් ඉදිරිපත් කළා. ඒ පනතේ තිබෙනවා රජයට සහ විදුලි බල ඇමැතිට උපදෙස් දෙන්නේ මහජන උපයෝගික කොමිසම කියලා. මහජන උපයෝගික කොමිසම තියෙද්දි නැවත ජාතික විදුලි උපදේශක සභාවක් පිහිටුවන්න අවශ්‍ය නෑ. අලුත් විදුලි බල පනත අනුව ජාතික විදුලි උපදේශක සභාවේ සාමාජිකයන් පත්කරන්න හෝ ඉවත් කරන බලය හිමිවන්නේ ඇමැතිවරයාට. ජාතික විදුලි උපදේශක සභාවට නියෝජිතයන් ඇමැතිවරයා විසින්ම පත්කරනවානම් නියෝජිතයෝ කියන එක අහන්නේ නැතිනම් ඔවුන්ව ඉවත් කරන්න ඇමැතිවරයාට පුලුවන් නම් එතක කොහොද ස්වාධීනත්වයක් තිබෙන්නේ. 2002 විදුලි බල පනත අනුව මහජන උපයෝගික කොමිසමට සමාජිකයන් පත් වෙන්නේ ක්‍රමසම්පාදන හා සැලසුම් ක්‍රියාත්මක කිරිමේ අමාත්‍යාංශයෙන් ඔවුන්ගේ අවසන් පත්වීම ලබාදෙන්නේ ව්‍යවස්ථා මණ්ඩලයෙන්. නමුත් අලුත් විදුලි බල පනතින් ඇමැතිවරයාට අවශ්‍ය පුද්ගලයන් ජාතික විදුලි උපදේශක සභාවට පත් කරන්න කටයුතු සම්පාදනය කරලා තිබෙනවා.

නව විදුලි බල පනත අනුව ජාතික විදුලි උපදේශක සභාවට ඕනම නියෝගයක් දෙන්න ඇමැතිවරයාට පුලුවන්. මේ සභාවේ කිසිදු ස්වාධීනත්වයක් නෑ. නව විදුලි බල පනත අනුව විදුලි ගාස්තු නියාමනය පිළිබඳව විදුබල ඇමැතිවරයාට සම්බන්ධ වෙන්න පුලුවන් කියලා සඳහන් වෙනවා. ඇමැතිවරයා මිල ගාස්තු නියම කරන්න කිසිදු අයිතියක් නෑ. මිල ගාස්තු නියම කළ යුත්තේ මහජන උපයෝගික කොමිසමෙන්. ඒ ස්වාධිනත්වයත් මේ පනතින් නැති වෙලා තිබෙනවා. සංශෝධන කරන බව ඇමැතිවරයා කිව්වත් අවසානයේ මේ යෝජනා ඇතුළත් කරලා තමයි ආණ්ඩුව පනත සම්මත කර ගන්නේ. විනිවිදභාවයකින් යුතුව දේශපාලන බලපෑමෙන් තොරව මේ පනත් සකස් විය යුතුයි. ‘‘