පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමානයේ වී මෝල් 500 කට ආසන්න ප්‍රමාණයක් තිබූ බවත් අද වන විට එම කුඩා හා මධ්‍ය පරිමානයේ වී මෝල් ප්‍රමාණය 25 ක් දක්වා අඩු වී තිබෙන බවත් කින්ස් නෙල්සන් මහතා පවසනවා.

අද වන විට වී මෝල් හිමියන් නාඩු වී කිලෝවක් රුපියල් 100 , 110 , 115 ක් වැනි මිලකට මිලදී ගන්නා නමුත්, වෙළඳපොලේ නාඩු හාල් කිලෝවක් රුපියල් 220ක් පමණ වන බවත් මෙහි අතරමැදි මුදල කාගේ අතට යන්නේද පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් ඒ මහතා පවසනවා.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා මෙසේ අදහස් දැක්වීය.

ඒ මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්,

‘‘වී ගොවියා සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැතිවරයාගේ සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාර්යය පිළිබඳව ගැටලු රැසක් තිබෙනවා. ඒ වගේම මහ කන්නයේදී වී වලට සාධාරණ මිලක් ලබාදුන් බව කෘෂිකර්ම ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කියනවා. රජය විසින් සහතික කර තිබෙන වී මිලට අනුව හම්බන්තොට ප්‍රදේශයේ ගොවීන්ගෙන් වී ගත් බව කෘෂිකර්ම ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කියනවා. නමුත් පොලොන්නරුවේ , මරදගහමුල , අම්පාර , කුරුණෑගල ප්‍රදේශවල වී ගොවීන්ගේ වී රජය විසින් මිලදී ගෙන නෑ. කැබිනට් මණ්ඩලයේ සිටින්නේ ප්‍රාදේශීය ඇමැතිවරු.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිරවයා රසායනික පොහොර තහනම් කළ අවස්ථාවේදී එවක කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා ඔහුගේ ආසනයේ ගොවීන්ට රසායනික පොහොර බෙදා දුන්නා. ඒ අනුව සමස්ත ගොවීන්ට සාධාරණයක් ඉටු වෙලා නෑ. මහ කන්නය දැන් අවසන්. ගොවීන් අස්වැන්න නෙළාගෙනත් ඉවරයි. වී මිලදී නොගැනීම හේතුවෙන් ගොවීන්ට දැඩි අසාධාරණයක් සිදුවෙලත් ඉවරයි. මේ කටයුත්ත දිගින් දිගටම සිදුකරන්න එපා. යල කන්නයේදීවත් වී ගොවීන්ට සාධාරණයක් ඉටු කරන්න රජය වහාම මැදිහත්විය යුතුයි.

පොහොර සහනාධාරය ලබාදුන් බව කියමින් පාර්ලිමේන්තුවේදී පම්පෝරි ගහනවා. පොහොර සහනාධාරය රටේ කිසිදු පළාතකට සම්පුර්ණයෙන් ලබාදීලා නෑ. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියයට 75 , කුරුණැගල දිස්ත්‍රික්කයේ සියයට 85 ක් ලබාදීලා තිබෙන්නේ පොහොර සහනාධාරය ගොවීතැන් කිරිම ආරම්භ කළ සැනින් ලබා දිය යුතුයි. ගොවීන් වී අස්වැන්න නෙළාගෙනත් අවසන් නමුත් තවම පොහොර සහනාධාරය ඇතැම් ගොවීන්ට ලැබිලා නෑ.

රටේ මහා පරිමාන වී මෝල් තිබිය යුතුයි. ඒ වගේම කුඩා හා මධ්‍ය පරිමානයේ වී මෝල් ද රටේ තිබිය යුතුයි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමානයේ වී මෝල් 500 කට ආසන්න ප්‍රමාණයක් තිබුණා. අද කුඩා හා මධ්‍ය පරිමානයේ වී මෝල් තිබෙන්නේ 25 ක් පමණ. නාඩු වී කිලෝවක් වී මෝල් හිමියන් මිලදී ගන්නේ රුපියල් 100 , 110 , 115 ක් වගේ මිලට තමයි මිලදී ගන්නේ. නමුත් නාඩු හාල් කිලෝවක් රුපියල් 220 යි. එතකොට අතරමැද තිබෙන මුදල කාගේ අතටද යන්නේ?

මේ හරහා වී ගොවියාට සාධාරණයක් වෙන්නෙත් නෑ. පාරිභෝගිකයාට සාධාරණයක් වෙන්නෙත් නෑ. වී අඩුවට ගන්න නිසා හාල් අපිට අඩුවට ගන්න බෑ. කුඩා හා මධ්‍ය පරිමානයේ වී මෝල් ශක්තිමත් කළොත් පාරිභෝගිකයාට හාල් අඩු මිලට ලබාදෙන්න පුලුවන් වෙනවා. එසේ සිදුකළොත් ගොවියාට සාධාරණත්වයක් ඇති වෙනවා. පාරිභෝගිකයාට සාධාරණ මිලකට හාල් ගැනීමට හැකි වනවා. කුඩා හා මධ්‍ය පරිමානයේ වී මෝල් තිබෙන ප්‍රමාණය හදුනාගෙන අස්වැන්න නෙලන අවස්ථාවේදී රජය විසින් හෝ පෞද්ගලික බැංකු වලින් ලබාදෙන ණය පහසුකම් අස්වැන නෙළුවට පස්සේ නෙවෙයි අස්වැන්න නෙළන අවස්ථාවේදීම ණය පහසුතකම ලබාදුන්නොත් කුඩා හා මධ්‍ය පරිමානයේ වී මෝල් හිමියන්ට හැකිවෙනවා වී මිලදී ගන්න.

මහ පරිමාන වී මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි පෞද්ගලික බැංකු හැසරවීමට ඉඩ නොදී මහ පරිමාන වී මෝල් හිමියන්ට ලබාදෙන ණය පහසුකම් කුඩා හා මධ්‍ය පරිමානයේ වී මෝල් හිමියන්ට ලබාදෙන්න කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා. දැන් ඒ ණය පහසුකම් කුඩා හා මධ්‍ය පරිමානයේ වී මෝල් හිමියන්ට ලබාදීමට කටයුතු කරලා වැඩක් නැ. දැන් වී අරගෙන ඉවරයි. ගොවීන් ළඟ දැන් වී නෑ. ණය පහසුකම වී අස්වැන්න නෙළන අවස්ථාවේදීම කුඩා හා මධ්‍ය පරිමානයේ වී මෝල් හිමියන්ට ලබාදිමට රජය කටයුතු කළ යුතුයි.

රට බංකොලොත් වෙලා තිබෙන්නේ , රට සංවර්ධනය කරන්න මුදල් නෑ. ඒ නිසා විදෙස් රටවලින් හිඟාකන්න සිදුවෙලා තිබෙන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසනවා. රජයට සල්ලි නෑ කියලා කිව්වට පසුගියදා දඹුල්ලේ තිබුණ උප්පු ප්‍රධානය කරන උත්සවයට මිලියන 15 ක් වියදම් කරලා තිබුණා. රටේ ජනතාවට උප්පු ලබාදිය යුතුයි. එම වැඩසටහනට අපි විරුද්ධ නෑ. මනුෂ නානායක්කාර ඇමැතිවරයා සෑම දිස්ත්‍රික්කයකම විදේශ රැකියා සම්බන්ධයෙන් තරුණ තරුණියන් කැඳවලා සැණකෙළි පවත්වනවා. මෙවැනි කටයුතු කරන්න රජයට කොහෙන්ද මුදල්.
මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරිම පිළිබඳ අපේ විරුද්ධත්වයක් නෑ. නමුත් මෙවැනි වැඩසටහන් වලින් දැනට තරුණ තරුණියන් කී දෙනෙකු විදෙස් රැකියා සඳහා යවලා තිබෙනවද ? විදෙස් රැකියා සඳහා ගිය තරුණ තරුණියන්ගෙන් කොමපණ විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබිලා තිබෙනවද? එවැනි කිසි දෙයක් පිළිබඳ දැනුම්වත් නොකර සැණකෙළි පවත්වමින් යනවා. විදේශ රැකියා තිබෙන ප්‍රමාණය පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරු හරහා ගම්වල තරුණ තරුණියන්ට දැනුම්වත් කරලා ප්‍රාදේශිය ලේකම්කාර්යාලවලට තරුණ තරුණියන් කැඳවලා විදේශ රැකියා පිළිබඳව තරුණ තරුණියන්ව දැනුම්වත් කරන්න පුලුවන්.

ජනාධිපතිවරයා විපක්ෂයට කියනවා ආණ්ඩුව සමඟ එකතුවෙලා රට ඉදිරියට ගෙනියන්න සහාය ලබාදෙන්න කියලා. සමගි ජනබලවේගය රටේ ප්‍රධාන විපක්ෂය ලෙස රට සංවර්ධනය කරන්න ආණ්ඩුව සමඟ එකතු වෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. විපක්ෂයේ සිටිමින් අපට ආණ්ඩුව සිදුකරන හොඳ දේවල් සඳහා සහාය ලබාදෙන්න පුලුවන්.

ඒ වගේම සමගි ජන බලවේගය රටේ ජනප්‍රියම පක්ෂය බවට පත්ව තිබෙනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඕනෑම මැතිවරණයකින් දිනන්නේ සමගි ජනබලවේගය කියලා රටේ ජනතාව කතාවෙනවා. සමගි ජනබලවේගය කවදාවත් රටේ තිබෙන බංකොලොත් පක්ෂ සමඟ එකතු වෙන්නේ නෑ. කිසිදු පක්ෂයක් සමඟ සමගි ජනබලවේගය එකතු වෙන්න සාකච්ඡා කරලත් නෑ. ඒ වගේම සමගි ජනබලවේගයේ සිටින කිසිදු මන්ත්‍රීවරයෙක් එක්සත් ජාතික පක්ෂය සමඟ හෝ වෙනත් කිසිදු පක්ෂයක් සමග එකතුවෙන්නේ නෑ. සමගි ජනබලවේගය තමයි ඉදිරියේදී රට භාර ගන්න සිටින පක්ෂය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති වෙනවා. එය වළක්වන්න කාටවත් බෑ.
ආණ්ඩුවේ මැති ඇමැතිවරු විශාල ප්‍රමාණයක් කැමැත්තෙන් සිටිනවා සමගි ජනබලවේගය සමඟ එකතුවෙන්න. ආණ්ඩුවේ මැති ඇමැතිවරු සමගි ජනබලවේගයෙන් ආසනයක් ලබාදෙන්න කියලා ඉල්ලීම් කරලා තිබෙනවා. ඒ වගේම මැයි පළමු වැනිදා ජනතා බලවේගය කොතනද තියෙන්නේ කියලා අපි ඔප්පු කරලා පෙන්වනවා”