අපි මීළඟ අවුරුද්ද සැමරිය යුත්තේ සැමට සෞභාග්‍ය උදාකරවන රටක සිටයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රට මෙවැනි අගාධයකට වැටෙන්න පෙර සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ මිනිසුන්ගේ අතේ මුදල් ගැවසුනු බවත් ගෙදරට ආහාර පාන ඇදුම් පැළැදුම්වලින් යුත් අභිමානවත් රටක් අපට තිබුණත් අද වන විට අපේ රටේ ජනතාව මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්නේ බංකොලොත් රටක් සිට බවත් ලක්ෂ සංඛ්‍යාත පවුල් දුගී දුප්පත් වී ඇති රටක් තුළ තමා නිදහස් අධ්‍යාපනයේ 41 ලක්ෂයක් පාසල් දූදරුවන් සමඟ මෙසේ අවුරුදු සමරන්න සිතූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට රටේ ඇත්තේ නව සාමාන්‍යකරණයක් බවත් මෙවර අවුරුදු කෑම මේසයේ මිල පවා ඉතා ඉහළ ගොස් තෙල් පරිභෝජනය පහළ ගොස් රටේ බහුතරයක් දුප්පතුන් බවට පත්වී ඇති සාමාන්‍යකරණයක් රට තුළ ඇති බවත් විරැකියාව වැඩි වී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර වැසී යන රට පුරා බුද්ධිගලනයක් සිදුවන සාමාන්‍යකරණයක් රට තුළ ඇති බවත් මෙවැනි තත්ත්වයක් මත සැබැ ලෙස අවුරුදු සැමරිය නොහැකි බැවින් මීලඟ සිංහල අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍ය උදා කරවන සුහුරු රටක් ලෙස සැමරිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 155 වැනි අදියර යටතේ අද තිස්සමහාරාම වීරවිල පන්නෙගමුව රාකීය විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයේ නර්තනය ඉගෙන ගන්නා සිසු සිසුවියන් සඳහා වන නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය. පාසලේ දක්ෂ දරුවකු වූ එච්. කේ. ඒසර වෙත ලැප්ටොප් පරිගණකයක් ද පරිත්‍යාග කළේය.

මචං ෆිට් එකෙන් ණය නොගෙවා ඉන්න බෑ

කවුද මොන කතා කිව්වත් කුමන දේශන සිදු කළත් මේ අඩුපාඩුකම්වලට විසඳුම් සපයන්න කයිවාරුවෙන් නොහැකි බවත් මේ සඳහා ඩොලර් සහ රුපියල් අවශ්‍ය බවත් ඒවා අතමාරුවට ගන්න වගේ මචං කියා උපයා ගත නොහැකි බවත් ගමේ සමූපකාර බැංකුවටවත් එවැනි දෙයක් සිදු නොහැකි බවත් සණස බැංකුවෙන් පවා ණය නොගෙව්වොත් නඩු දාන එකේ මිනිසුන් රවටන බොරු කතා නොකිව යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මම කොට අදින අලි වගේම පෙරහැරේ යන අලි ගැනත් දන්නවා

නිදහසින් පසු සෑම පක්ෂයකම නායකයෝ මේ රටට වැඩ කළ බවත් මේ ගරුත්වයේ භාරය ඒකාධිකාරයට ගැනීම නැවැත්විය යුතු බවත් කොටන් අදින අලි මෙන්ම පෙරහැරේ යන අලිත් සිටින නිසා තමා ඒ ගැන හරිහැටි තේරුම් ගෙන ඇති නිසා තමාව රවට්ටන්න නොහැකි බවත් ඇත්ත ඇති සැටියෙන් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනයේ ඇති නැති බැරි පරතරය නැති කළ යුතුයි

නැති බැරි අය ඇති හැකි අය කර දුප්පත්කම තුරන් කරනවා සේම නැති බැරි පාසල් ද ඇති හැකි පාසල් බවට පත් කළ යුතු බවත් අධ්‍යාපනයේ ඇති මෙම ඛේදවාචකය අප තුරන් කර ඉංග්‍රීසි භාෂා හා තොරතුරු තාක්ෂන අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමාගේ අරමුණ පාසල් සුහුරු පාසල් බවට පත් කිරීම මෙන්ම ආගමික ස්ථාන ඇතුලු දහම් අධ්‍යාපනය ලබා දෙන ආයතන ද සුහුරු දහම් පාසල් බවට පත් කරන බවත් ඒ තුළින් ගමේ නගරයේ දරුවන්ට තොරතුරු තාක්ෂණය ඉගෙන ගත හැකි පරිසරයක් ගොඩනගන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආගම් භේදයකින් තොරව දැහැමි ශික්ෂාකාමී යුක්ති ගරුක දරු පරපුරක් ගොඩනැගීමට කටයුතු කරන බවයි.

බංකොලොත් වුනේ නැත්නම් 76 වසරක් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ

අද බොහෝ දෙනෙක් 76 වසරක ඉතිහාසය ගැන කතා කරන්නේ රට බංකොලොත් වූ නිසා බවත් බංකොලොත් නොවුනා නම් අපේ වැරදි දිහා ආපසු හැරී කතා නොකර බවත් මේ ඉතිහාසය තුළ සැවොම රටට වැඩක් කළේ බලයක් සහිතව වුවත් සමගි ජන බලවේගය එම ක්‍රමවේදය වෙනස් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 155 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1690ක් වැය කර තිබේ.