අපොස සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල පැමිණීමත් සමඟම ඊට මුහුණ දුන් දරුවන් ආමන්ත්‍රණය කරමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් තබා තිබේ.


ඒ මහතාගේ දියණිය ද මෙවර සමන් පෙළ විභාගයට මුහුණ දී සමත් වූ අතර ඔහු සිය සමාජ ජාල ගිණුම් ඒ තබා තිබූ සටහන මෙසේය.

“ප්‍රතිඵලය ඉංග්‍රීසි හෝඩියට බාර නොදෙමු.””

අපි දන්න ඉතිහාසයේ තිබුණ ඉතාමත්ම කටුක, අභියෝගාත්මකම සාමාන්‍යපෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් වුණා.මේ රටේ ලක්ෂ ගානක් දුවා දරුවෝ එක්ක මගේ ආදරණීය දියණියත් ඒ විභාගයට පෙනී සිටියා.මේ අභියෝගාත්මක වෙලාවේ මගේ දුව ලබා ගත් සතුටුදායක ප්‍රතිඵලය මට මෙන්ම
මගේ පවුලේ සැමට
ඉමහත් සතුටක් ගෙන දුන්නා.

මේ රටේ පාසල් යන දරුවෝ අවුරුදු දෙකක් තිස්සේ ඉන්නේ තමන්ගේ ගෙවල්වල.ගොඩක් දරුවන්ට තමන්ගේ පන්තිභාර ගුරුවරයාවත් ඒ කාලය තුල දකින්න ලැබුණේ නෑ.

ඒ තරමටම කොරෝනා වෛරසය විශාල ව්‍යසනයක් වුණා.

අපේ රටට තවමත් ආගන්තුක වෙච්ච ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මොනතරම් දරුවෝ,මොනතරම් දෙමව්පියෝ අසරණ මොනාද?.

වයස අවුරුදු 18ට අඩු පවුල්වලින් 66%ක ප්‍රතිශතයකට අන්තර්ජාල පහසුකම් නැති රටක…පාරුවෙන් ගිහින් බස් එකට ගොඩවෙලා තවත් හැතැප්ම ගානක් ගිහින් ඉන්ටනෙට් හොයන දරුවෝ ඉන්න රටක මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීපූ දරුවෝ ගත්ත ප්‍රතිඵලය මටනම් විශ්මයක්.

මේ විභාගයෙන් සමත් වුණත් අසමත් වුණත් මම ඒ සියලු දරුවන්ව වීරයන් විදියට දකිනවා.

ඒ වෙනුවෙන් අප්‍රමාණ කැප වුණු සියලුම දරුවන් වගේම,ඒ දරුවන්ගේ දෙමවුපියොත් මේ වෙලාවේ මට මතක් වෙනවා.

ඇත්තටම මේ විභාගය සමත් වීම එක්තරා ජයග්‍රහණයක් තමයි.හැබැයි,ජීවිතයේ ඉරනම් කතාව සේරම ලියවිලා තියෙන්නෙ මේ විභාගයෙන් ලබන ප්‍රතිඵලය මත නෙවෙයි කියන එක අපි කවුරුත් දන්නවා.

කාට හෝ හිතනවා නම් මේ තමන්ට යන්න තිබුණු එකම බස් එක මිස් වුණා කියලා,ඒ හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා,ඒ අදහස ඉවත් කරගන්න කියලා.මේක ජීවිතයේ එක්තරා කඩයිම් විභාගයක් පමණයි.ජීවිතය දිනන්න ඕනෑ තරම් දොරටු මේ ලෝකයේ විවෘත වෙලා තියෙනවා.

විශාල ව්‍යසනයක් මැද, ඔබ ගත්ත මේ අත්දැකීම ඔබේ ජීවිතය අලුත් මාවතකට හරවන අවස්ථාවක් කරගනිමු කියලා සාමාන්‍ය පෙළ ලියපු සියලු දුවා දරුවන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.

අප හැමගේ ජීවිතවලට යහපත නැවතත් ඉක්මනින්ම උදාවේවා !!