දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අදට නොගැලපෙන බවත් එය වහාම ඉවත් කොට අදට ගැළපෙන පරිදි මිනිස් නිදහස සුරක්ෂිත වෙන, මානව හිමිකම් වලට ගරු කරන, ජාතික ආරක්ෂාව රැකෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් හෝ එවැනි වෙනත් පනතක් රැගෙන යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ප්‍රතිවිරුද්ධ මත ඉවසන්න බැරිව පළිගන්නා පනතක් බවත්, ඒ හරහා සිදු වෙන්නේ පලි ගැනීම සහ අවස්ථාවාදය රජ වීම බවත් එය වහාම නැවත යුතු බවත් ඒ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදය වැලැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව දමිල ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති පෙත්සමට අත්සන් ගැනීම අද මාතරදී ආරම්භ විය. ඊට විපක්ෂ නායකතුමා සිය සහය පල කළ අතර ත්‍රස්තවාදී පනතෙහි ගැටළු පිළිබඳවත්, එය අවලංගු කොට නව පතනක් ගෙන ඒමේ අවශ්‍යතාවය පිලිබඳවත් එම පෙත්සම මගින් අවධාරණය කර තිබිණි. ඉන් අනතුරුව විපක්ෂ නායකතුමා ත්‍රස්තවාදී පනත සම්බන්ධව සමගි ජන බලවේගයේ ස්ථාවරය පහදමින් ලිපියක් ද බාර දුන්නේය.

මෙම අවස්ථාවට දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, ශානික්‍යන් රාසපුත්‍රම් රාසමානික්කම් සහ සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ඇතුලු පිරිසක් එක්ව සිටියහ.