එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ ආචාර්ය දයාන් ජයතිලක දේශීය සහ ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂණයේ විශේෂඥයෙකි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට මුහුණපෑමට සිදුවන අභියෝග පිළිබද බලවේගය සමග ඔහු මෙසේ අදහස් දැක්වූවේය.

මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ලංකාව සම්බන්ධයෙන් තම නිල ලිඛිත වාර්තාවේ ඇඩ්වාන්ස් ඩ්‍රාෆ්ට් එක ඉදිරිපත් කර තිබේ. ලෝකයේ අවාසනාවට සහ ලංකාවේ වාසනාවට යුකේ‍්‍රන ප්‍රශ්ණය ඇතිවී තිබේ. ඒ නිසා ලංකාව වෙත නෙත් යොමු කිරීම තරමක් අඩුවේ.

මිශෙල් බැචලේගේ දැනට තිබෙන වාර්තාවේ වැදගත් කරුණු කිහිපයක් තිබේ. එකක් වන්නේ ශ‍්‍රී ලංකා වගකීම් ව්‍යාපෘතිය, එතුමියගේ කාර්යාලය විසින් කරගෙන යයි. ජාත්‍යන්තර මානව හිමිකම් හා මානවවාදී නීතිය අනුව යම් අයෙක් නඩු පවරන්නේ නම් එයට අදාල කරුණු එක් කරමින් යයි.

එතුමියගේ වාර්තාවේ යම් කිසි මෘදු භාවයක් තිබේ. එයට හේතුද එතුමිය ඉදිරිපත් කර තිබේ. මෑතකදී ශ‍්‍රී ලංකා ආණ්ඩුව මහ කොමසාරිස් කාර්යාලය සමග කටයුතු කරමින් යම් යම් පියවර ගෙන ඇති බව දක්වා තිබේ. මේ පවසන්නේ මහාචාර්ය ජී.එල්.පීරිස් සහ අලි ශබ්රි යන ඇමැතිවරු දෙදෙනා එක්ව යම් යම් ප්‍රතිසංස්කරණ කිරීමට ගත් උත්සාහයන්ය. එය ධනාත්මක ලෙස මහ කොමසාරිස්වරිය දකී.

නමුත් මේ ලිඛිත වාර්තාවේ එතුමිය වැදගත් ඡේද ගණනාවක් වෙන් කර ඇත්තේ හමුදාකරණය ගැන කතා කිරීමටය. එතුමිය කලින් වාචික හා ලිඛිත වාර්තාවල කියා ඇති දේම කියමින් ඒවා ප්‍රසාරණය කර තිබේ. කුමන කුමන ක්ෂේත‍්‍රවල හමුදා නිලධාරීන් සිටිනවාද යන්න සදහන් කර තිබේ. ඒ සියල්ලම පවසා වැදගත් කරුණක් ඇය පවසයි. හමුදාකරණය ගැන පවසමින් ලංකාවේ රාජ්‍යයේ ස්වභාවයට පවා බලපාන තරමට හමුදාකරණ ක්‍රියාවලිය ගොස් ඇති බවත් මෙය ආපසු හැරවිය යුතු බවත් රජයට දැනුම් දේ.

නිදහසින් පසුව කුමන ආකාරයේ වෙනස්කම් තිබුණත්, කුමන දුර්වලතා, විකෘතීන් පැවතියත් රාජ්‍යයේ ස්වභාවය වෙනස්වූයේ නැත. මෙතැනදී අවධානය යොමු කරන්නේ ජනාධිපතික්‍රමය, පාර්ලිමේන්තු ක්‍රමය ගැන නොවේ. මානව හිමිකවේ. මහ කොමසාරිස්වරිය රාජ්‍යයේ ස්වභාවය වෙනස් විය හැකි බව පැවසීම සැලකිලිමත් විය යුතු කරුණකි. මේවා ගැන වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ රටක වාමාංශික පක්ෂයි. රාජ්‍ය ස්වභාවයේ වෙනසක් සිදුවීම ගැන ප්‍රධාන වාමාංශික පක්ෂ වන ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කතා නොකරන්නේ, ඒ ගැන කතා කිරීමේදී පුළල් පෙරමුණු නිර්මාණය කරගැනීමට සිදුවිම සහ එයට ඔවුන්ගේ කැමැත්තක් නොතිබීම නිසා විය යුතුය. මෙය භයානක උවදුරකි. පිළිකා සෛල දේශපාලන දේහයේ පවතිනවා වැනි තත්වයකි. මේ ගැන නොසලකා හැරීම භයානක උවදුරකි.

මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවෙන් හමුදාකරණය ගැන සැමදා අවධානය යොමු කළේය. එය මෙවර වඩාත් පුළුල්ව අවධානය යොමු කර තිබේ. චිලීයේ ගුවන් හමුදා ජනරාල්වරයෙක්ගේ දුව වන මිශෙල් බැචලේ, හමුදාව බලය අල්ලා ගත් විට විශාල ලෙස පීඩාවට පත්විය. ජාත්‍යන්තර බලපෑම් නිසා මැයට විදේශ ගතවීමට අවස්ථාව හිමිවිය. ආඥාදායකත්වයට එරෙහිව දේශපාලනිකව සටන් කළ ඇය චිලියේ ආරක්ෂක ඇමැතිවරිය බවට පත්විය. පක්ෂ නායිකාවක් බවට පත් විය. දෙවතාවත් ඡන්දයෙන් ජනාධිපතිවරිය බවට පත්විය. හමුදාව මිලටරීකරණය සම්බන්ධයෙන් සංවේදී හා අතිශය අත්දැකීම් ඇති අයෙක් ලංකාව ගැන පැවසීම, විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාව දෙස බලා කරන ප්‍රකාශයක් වැනිය.

මානව හිමිකම් මහ කොමසාරිස්වරිගේ වාර්තාවේ ඇති අනෙක් කරුණ වන්නේ උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලයයි. ජනවාර්ගික පදනමින් ඔවුන් කොන් කර ඔවුන්ගේ ඉඩම් කොල්ලකනවාදෝ යන ප්‍රශ්ණය වාර්තාව මගින් මතු කර තිබේ. සියලුම දේශපාලඥයින් හා මාධ්‍යවේදීන් පිටු දාහතක වාර්තාව රැගෙන එය හොදින් පරිශීලනය කළ යුතුය.

රටක දේශපාලනය ගැන දන්නා, හමුදා ආඥාදායක්වයට එරෙහිව සටන් කළ අයෙක් මෙවැනි වාර්තා ඉදිරිපත් කරන විට, එතුමියටත් වඩා ලංකවේ සිටින අප මෙය අන්වීක්ෂයක් තුළට දමා බැලිය යුතුය. රටේ පවතින අර්බුදය අනුව ඊළගට කුමක් විය හැකිද යන්න තේරුම් ගැනීමට නම් මිශෙල් බැචලේගේ වාර්තාවේ සදහන් කර ඇති, පහන් එලියක් දල්වා ආලෝකමත් කරන යම් යම් ප්‍රවනාවයන් ගැන අවධානය යොමු කළ යුතුය.