ග‍්‍රීක පුරාවෘතවලට අනුව ලොව පළමු කාන්තාව පැන්ඩෝරා ය.පැන්ඩෝරාට ප්‍රිය කළ දෙවියෝ ඇයට විවිධ තෑගි දුන් අතර,  සියුස් දෙවියා ඇයට විශේෂ තෑග්ගක් ලෙස දුන්නේ කිසිදා විවර නොකළ යුතු පෙට්ටියකි. මේ පෙට්ටියේ යමක් ඇති නමුත් කිසිවිටක විවර නොකළ යුතු බව සියුස් පවසා තිබිණි.එහෙත් පැන්ඩෝරාට මෙය ඉවසිය නොහැකි විය. ඇය දිනක මේ පෙට්ටිය විවර කළාය. ඇය ඉක්මනින් යතුර ගෙන පෙට්ටිය ඇරියේ ය. එසැනින්ම කුඩා කුඩා කෘමි සතුන් එයින් එළියට ගියේ ය. ඔවුන් පැන්ඩෝරාගේ මුහුණ හා අත් සපා විශාල ශබ්දයක් නගමින් එළියට ගියේ ය. ඔවුන් පියඹා ගිය විට දිනය අඳුරු විය. මරණය, වෛරය, වසංගත රෝග, කරදර ඇතුළු සියලූ අයහපත පැතිරුනේය. සියුස් සියලු කරදර එම පෙට්ටියේ දමා අඟුලු දා තිබුණේ ය.  පැන්ඩෝරා පෙට්ටිය විවෘත කිරීමෙන් ලෝකයේ ඇති සියලු කරදර මුදාහැර ඇත. පැන්ඩෝරා විසින් රෝග, වෛරය, යුද්ධ, නියඟ, ඊර්ෂ්‍යාව වැනි සියලුම ආකාරයේ කරදර මුදා හැරියා ය. මෙම විසිරීගිය කරදර නැවත රැස්කර පෙට්ටියේ දමන්නේ කෙසේදැ යි පැන්ඩෝරා පෙට්ටියේම සිටි සුරංගනාවියකගෙන් ඇසුවා ය. ඒවා නැවත අල්ලාගත නොහැකි බවත්, මේ වන විට ඒවා ලෝකය පුරා ව්‍යාප්තව ඇති බවත් පැවසුවා ය.
පැන්ඩෝරා කියන්නේ ඒකටය.නමුත් මේ දිනවල ලෝකය මෙන්ම ලංකාවද හෙල්ලීගිය ආන්දෝලනය ඇතිකර ඇත්තේත්ද ‘පැන්ඩෝරා’මය.පැන්ඩෝරා කුණාටුවක් වී ඇත්තේ නිරූපමා සහ තිරු නඩේසන් නිසාය.ඒ දෙන්නගේම නම් පැන්ඩෝරා පත්‍රිකාවල තිබේ.පැන්ඩෝරා කියන්නේ ලෝකය පුරා ගවේෂනාත්මක මාධ්‍යවේදීන් විසින් ගවේෂණය කොට සොයා ගන්නා ලද තොරතුරු ය.ඒවා වසර 7ට පමණ වරක් හෙලිදරව් කැරයි. මිලියන 12 කට ආසන්න ලේඛන හෙළිදරව්වෙන් ලෝක නායකයන්ගේ සහ බලවත් ව්‍යාපාරික නායකයන්ගේ සැඟවුණු ධනය හෙළිව තිබේ. මෙය සිදුකර ඇත්තේ වසර 7 ක් තිස්සේ ගෝලීය මූල්‍යායතන 14කින් එක්රැස් කරගත් මූල්‍ය ලේඛන පාදක කර ගනිමිනි. ඒ අනුව පසුගිය 03 වැනිදා පැන්ඩෝරා පත‍්‍රිකා හරහා ලෝක ඉතිහාසයේ පළමු වතාවට මහා පරිමාණයෙන් මූල්‍ය වංචා අනාවරණයක් සිදුකරන ලදී. පැන්ඩෝරා පත‍්‍රිකා අනාවරණය සිදු කළේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි. ලොව ප‍්‍රධන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරන ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 650 කට වැඩි පිරිසක් මෙම අනාවරණය සිදුකිරීමට දායක වී ඇත.
නිරූපමා සහ තිරූ දෙදෙනාට එල්ලවී ඇති චෝදනා බරපගලය.පැන්ඩෝරා මාධ්‍යවේදීන් විසින් නිරූපමා-තිරු දෙදෙනාට ප්‍රශ්න පත්‍රයක් යොමුකර ඇත.
නිරූපමාට එල්ලවන ප්‍රශ්න !
1990 මුල් භාගයේ සිට 2010 අතර කාලයේ දී ඔබ, සිඩ්නි සහ ලන්ඩන් යන ප‍්‍රදේශයන්ගේ දේපළ මිලදී ගැනීමට සහ උපදේශන සේවා සැපයීම සදහා පිහිටුවා තිබුණු රොසෙටි ලිමිටඩ් නම් අක්වෙළ සමාගමේ පාලක පක්ෂය ලෙස පෙනී සිට ඇති බව, අපට හමු වී තිබෙන පත‍්‍රිකාවලින් තහවුරු වේ. මෙම තොරතුර නිවැරදිද? රොසෙටි ලිමිටඩ් හී ඔබේ භූමිකාව කුමක් ද..?
ඔබේ රට වන ශ‍්‍රී ලංකාවේ බලාත්මක නීතිය අනුව, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක ලෙස, ඔබ රොසෙටි ලිමිටඩ් ඔබට අයිති සමාගමක් බව හෙළි කර සිටියා ද..? ඔබේ දේපළ පිළිබදව ඔබ හෙළි කළා ද..?
රොසෙටි ලිමිටඩ් නම් සමාගම, කොන්ත‍්‍රාත් කරුවෙකු ලෙස සම්බන්ධකරගත් ලංකා රජයේ ආයතනවල, රොසිටි ලිමිටඩ් යනු ඔබට අයත් සමාගමක් බව හෙළිකර සිටියා ද..?
එසේ නොකළා නම් ඒ ඇයි?
පන්ඩෝරා පත‍්‍රිකා මගින් පෙන්නුම් කරන ආකාරයට, ඔබ, ඇමරිකානු ඩොලර් මිලියන 51 ක වටිනාකමකින් යුතු කලා කෘති එකතුවක් (චිත‍්‍ර එකතුවක්) ඇති, පැසිෆික් භාරයේ ප‍්‍රතිලාභියෙකු බව පෙනී යයි. එය ඇත්තක් ද..? එය ඇත්තක්නම්, ඔබ, ඔබේ රටේ බදු නිළධාරීන් ඒ පිළිබදව දැනුම්වත් කළා ද..?
ඔබේ සැමියා විසින් ස්ථාපිත කර තිබෙන අක්වෙරළ සමාගම් සහ පහත සදහන් අරමුදල් සමඟ, ඔබට තිබෙන සම්බන්ධය කුමක් ද?
කාන්තාවන්ට පිරිමින්ට වඩා හොද ගතිගුණ පිහිටා තිබෙන බවත්, කාන්තාවන් වඩාත් අවංක බවත්, කාන්තාවන් අල්ලසට ගොදුරුවීමේ අවදානම අඩු බවත්, 2014 වසරේ පැවති සම්මුඛ සාකච්ඡුාවක දී ඔබ ප‍්‍රකාශ කර තිබුණි. කරුණාකර ඔබට ඒ ගැන විස්තර කළ හැකි ද?
මේවාට ඔවුන් පිළිතුරු බැඳිය යුතු බව එම මාධ්‍යවේදීන් කියයි.
සමහරු නිරූපමා සහ රාජපක්ෂ පවුලේ සබදතා ගැන කියයි.චෝදනාව රාජපක්ෂලාටත් බැරකරයි.ඔව්,ඒක ඇත්තය.ඒත් තවත් අයෙක් සිටී.
එතකොට වෙන කවුද?’
කවුරුහරි අසන්නට පිලිවන. ඒ වෙනකවුරුත් නොව,රනිල් ය.
රනිල් සහ තිරුලා යාලුවෝය.ඒක බොහෝ පැරණි එකක් ය.
2015 ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය විය.ඒ පරාජයත් සමගම ජනවාරි 8 අලුයම මහින්ද එක්තරා පුද්ගලයෙකුට දුරකථන ඇමතුමක් ගත්තේය.ඒ රනිල්ට ය.මහින්දට රනිල් හමුවන්නට උවමනා විය.ටික වේලාවකින් රනිල් අරලියගහ මන්දිරයට ආවේය. ඒ තවත් අමුත්තෙක් සමගය.රනිල් ආවෙ අමුත්තාගේ මෝටර් රථයෙන් ය.ඔහු තිරු නඩේසන් ය.
මේ ගැන මලිත් ජයතිලක ලියපු ජනවාරි 8 විප්ලවය ඇසින් දුටු සාක්ෂි පොතේ මෙහෙම සටහන්ව තිබේ.
” මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉල්ලීමට අනුව රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මැදුරට පැමිණියේය.ඒ් තිරු නඩේෂන් සමඟ එකම එක මෝටර් රථයකිනි. ඒ තීරණාත්මක රාත්‍රිය වන විටත් තිරු නඩේසන් මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මැදුරට එකම මෝටර් රථයක පැමිණීමට තරම් ඔවුන්ගේ විශ්වාසයක් මිත්‍රත්වයත් ප්‍රබල විය. නිරූපමා රාජපක්ෂ ඇමතිතුමියගේ ස්වාමි පුරුෂයා වූ තිරු නඩේෂන් රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර කටයුතු වලදී ඉතා ප්‍රබල සාධකයක් විය. රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන ඔහු මූල්‍ය කළමනාකරණය පිළිබඳව අද්විතීය චරිතයකි. තවමත් ඡන්ද ප්‍රතිඵල කියවමින් පැවති එම අලුයම වික්‍රමසිංහ මහතා තිරු නඩේසන් මහතාත් එකම මෝටර් රථයක අරලියගහ මැදුරට පැමිණෙන දැක අරලියගහ මන්දිරය තුළ පරාජය මුවවිට සිටි පිරිස ද අන්දමන්ද වූහ. සැබැවින්ම ජනවාරි 8 ජනවරමට ආරම්භයේදීම පොලවේ ගැහුවා වෙනි සිදුවීමකි එය.
අරලියගහ මැඳුරේ ටාටා 7 නමින් ආරක්ෂක අංශ විසින් පිහිටුවන ලබන කාමරේ දී මෙම පිරිස සාකච්ඡා කළහ. මෙම සාකච්ඡාව අවසානයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජංගම දුරකථනයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කතා කොට සුබ පැතිය. සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති අතර එය නිමවා තම මෝටර් රථයට ගොඩවීමට ගිය රනිල් වික්‍රමසිංහ මහතා නැවත මහින්ද රාජපක්ෂ ට පැමිණ යමක් පැවසීය පැවසිය”*
                                                                 පිටුව564 ජනවාරි 8 විප්ලවය ඇසින් දුටු දා සාක්ෂි‍.

ඒ්
කියන්නේ 2015 ජනවාරි 08 රාත්‍රියේ මහින්දගේ නිවසට බලය හුවමාරු කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කරන්න රනිල් වික්‍රමසිංහ ගියේ තිරු නඩේෂන් එක්ය.හැබැයි යහපාලනය ගේන්න මහපොළවේ වෙහෙසුනේ අහිංසක මිනිස්සුය.ඒ මිනිස්සු දුන් ජනවරම අරලියගහ මැදුරේ තාප්පවලට මෙපිට පොළවේ ගසා පළමු කුමන්ත්‍රණය කළේ එදාය.*
ඊට පස්සේ බොහෝ කටයුතු වලදී තිරු රනිල්ලා ගණුදෙනු කළහ.බැසිල් රාජපක්ෂට අයත් යැයි කියා නඩුවක් පැවැති මල්වානේ නිවස පිහිටි ඉඩමේ ඔප්පුව තිබෙන්නේ තිරු නඩේෂන්ගේ නමටය.එවක ඔහුව අත්අඩංගුවට(යහපාලන සමයේ)ගන්නට යන බව සැලවෙනකොට තිරු නඩේසන් රනිල්ට ලිපියක් ලීවේය.එය
2016 දී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තිරුකුමාර් නඩේසන් විසින් ලියන ලද පෞද්ගලික ලිපිය තිරුකුමාර් නඩේසන් අත්අඩංගුවට ගෙන ඇප ලබා දුන් මල්වාන මන්දිරයට අදාළව සටහන්ව ඇත.
රනිල්ගේ හිතවතා!

මෙම ලිපිය තිරුකුමාර් නඩේසන් අත්අඩංගුවට ගැනීමට දින කිහිපයකට පෙර 2016 ඔක්තෝබර් 16 දිනැති දිනයකි. විශේෂත්වය නම් අත්අඩංගුවට ගත් දිනම ඔහුට ඇප ලැබීමය.

අත්අඩංගුවට ගැනීමට පෙර, ඔහු තමාගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කරමින්,  ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලීක් වූ ලිපි ගොනු වල පෞද්ගලික ලිපියක් ලිවීය. නඩේසන් පැවසුවේ බැසිල් රාජපක්ෂ ඔහුගේ දේපළේ නිවසක් තනා ඇති බවට ප්‍රවෘත්ති කියවන තුරු තමා නොදන්නා බවයි. පසුව ඔහු “ඔහුගේ නමට හා කීර්ති නාමයට හානියක් නොවන පරිදි” ඉඩම විකුණා දමා ඇති බව පැන්ඩෝරා විමර්ශන කන්ඩායම දන්වා ඇත.

“මම අයුතු හෝ නීති විරෝධී කිසිවක් කර නැති අතර මාගෙන් සාධාරණයක් ඉටු නොවන බව අගය කරන මෙන් ඔබෙන් යහපත් ලෙස ඉල්ලා සිටිමි,”

නඩේසන් එම ලිපියේද සඳහන් කළේය.
මගේ ගනුදෙනු විනිවිද පෙනෙන ඒවා යයිද ඔහු කියා සිටියේය.

එම චෝදනා “යුක්තියේ උපහාසයට සමාන” බව ඔහු එම ලිපියේ සඳහන් කළේය.
වරක් රංජන් රාමනායක අපූරු කතාවක් කීවේය.
‘ඒ් ගොල්ලෝ යාලුවෝ මල්ලී’
කතාව ඇත්තය. ‘ඔබේ මිතුරන් කව්දැයි කියන්න, ඔබ කවරෙක්දැයි මා කියන්නම්’ යන රුසියානු කතාව සහතික ඇත්තය.රනිල්ලාගේ මිතුරන්ගේ හැටි රටම හොදට අත්වින්දේය.
මගුලේ ගිය යාලුවා
අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුවක් මහ දවල් කඩා අතුරුදන් වනතුරු රනිල් නොදැන සිටියේය.අද මහේන්ද්‍රන්  රටෙත් නැත.හැබැයි රනිල් කියන්නේ ‘ මහේන්ද්‍රන් මඟුල් ගෙදරක ගියා කියලා’ ය.මහා බැඳුම්කර වංචාවේ වගඋත්තරකාරයා රටින් ගියේ ආණ්ඩුවත් සමතලා කරලාය.මෙදා තිරු-නිරූපමා කරලියට පැමිණ සිටී.දෙන්නම රටේ නැත.
වෝටර්ගේට් අපවාදය හේතුකොටගෙන අමෙරිකා ජනාධිපති රිචඞ් නික්සන්ට ගෙදර යෑමට සිදුවිය.බැඳුම්කරය නිසා රනිල්ලාට ගෙදර යන්නට සිදුවිය.  පැනමා පත‍්‍රිකා අපවාදය හේතුවෙන් ධුරයෙන් ඉල්ලා අස්වීමට අයිස්ලන්තයේ රාජ්‍ය නායකයා වන සිග්මන්දූර් ඬේවිඞ් ගස්ලෝග්සන්ට සිදුවිය.පැන්ඩෝරා පත්‍රිකා නිසා ආණ්ඩු කීයක් ගෙදර යයිද බලාගන්න වෙන්නේ ඉදිරියට ය.ලංකාවේ ආණ්ඩුවටත් ඒක අදාලය.