මැතිවරණ කල් දැමීම මේ ආණ්ඩුව ජයටම කරයි. කලින් යහපාලන රජය පැවැති සමයේදි පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ කල් දැමීම සිදු කරද්දී එවක විපක්ෂය (වත්මන් පාලක පක්ෂය) උඩ පැන්න හැටි කාටත් මතක ඇතැයි සිතමු. තමන්ගේ රජයකදී මෙසේ මැතිවරණ කල් දැමීම නොකරන බවත් තමන්ගේ රජයක් පැමිණී වහාම කල්දැමු ඡන්ද සියල්ල පවත්වන බවටත් දිවුර දිවුරා සපථයන් කෙරූ එවක විපක්ෂය බලයට පැමිණ දැන් දෙවසරක් ඉක්ම ගොසිනි. එහෙත් තවමත් පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ නැත.

එවක වහසිබස් දෙඩූ නායකයාද සිය වෘද්ධබවේ ශාරීරික අඩුලුහුඩුකම් වසා ගනිමින් තාරුණ්‍යය ආරූඪ කරගන්නට උත්සහ ගනිමින් සිටී. පැවති ආණ්ඩුවට සීමා නීර්ණය කර අවසන් කරගැනීමට නොහැකි නිසාත් කඩින්කඩ මැතිවරණ පැවැත්වීම ජනතා මුදල් නාස්තිය වැඩි නිසාත් සිවිල් සමාජ සංවිධාන හා දේශපාලන සංවිධාන හා පක්ෂවලින් ආ බලපෑම් මෙන්ම විශේෂයෙන් ඉන්දියාව ප්‍රමුඛ ජාත්‍යන්තරයෙන් එල්ලකෙරුණ බලපෑම් නිසා එවක ආණ්ඩුවට සිය පාලනය පැවැති සිවුවසර තුළදි පළාත්සභා ඡන්දය පැවැත්වූයේ නැත. හවුල්කාර පාර්ශවලින් පැවැති එකගතා කඩවීම් හෝ රජයේ තීරණවලට එකගනොවීම යන කාරණා නිසාද එවක ආණ්ඩුව හැමඅතින්ම සිරවී සිටියේ හිතුවක්කාර තීන්දූ තීරණ නොගත් නිසාත්ය.

ඒ තත්ත්වයෙන් ප්‍රයෝජනය ගත් විපක්ෂය ජනතාවට පෙන්වූයේ සුන්දර වේෂනිරූපණයකි. එය දැන් දැන් දියව ගොස් කැලේට රජවූ සිංහ වෙස් ගත් නරියාට වූ ඇබැද්දිය සිදුව ඇත. ඒ සිය රකුසු පෙනුම හා මවාගත් ජනතාවාදීකම වෙනුවට ඒකාධිපතිවාදීත්වය ජනතාවට එළිදරව් වෙමින් තිබේ.

එවන් ආණ්ඩුව මැතිවරණ කල් දැමීම ගැන චෝදනා කරනුයේ කොරෝනා වසංගතයටය. ජනතා මුදුල් නාස්තිය ගැන පෙර ආණ්ඩුව සමයේදි ඉහවහා ගිය දුකින් ප්‍රසිද්ධියේ අඩා වැළැපුණු වත්මන් පාලකයෝ දැන් ප්‍රසිද්ධීයේ සොරකම, දූෂණය හා නාස්තිය ජයටම කරති. රටේ කනබොන දෑවල මිල අහස උසට නැගලාය. අත්‍යාවශ්‍ය දෑ ඇත්තේම නැත. ඒවා ගෙන්වීමට ඩොලර් නැත. එසේ කරමින් කොරෝනාව නිසා මෙසේ වනබව ජනතාවට ඒත්තුගන්වති. නමුත් කොරෝනාව හිස දරුණුවටම ඔසවමින් සිටි සමයේදිම හදිසියේ මහ මැතිවරණය පවා පැවැත්වූ බව අමතක කරති. වෙනකක් පවා චන්ද පත්‍රිකා විසබීජ හරනය කිරීම සඳහා විමල් වීරවංශ අමාත්‍යවරයා ඒවා හට්ටියක දමා රත් කිරීමට යෝජනා කළේය. එදා මැතිවරණ පැවැත්වීමට ඕවුහු එතරම් උනන්දු වූහ.

එදා තමන් කියූ පටපල් බොරුවලට ජනතාව රැවටුන බව පාලකයෝ තවමත් සිතා සිටිති. එහෙත් ජනතාව රැවටී නැත. ඒ බව මුලින්ම පැවැත්වෙන මැතිවරණයෙන් ඒත්තුගැන්වෙන බව ඉදුරා දන්නා නිසා අසමත් ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දමමින් සිටී. තමන්ට පෙර මෙන් බොරුවෙන්ම හෝ බලහත්කාරයෙන් බලය පැහැරගත නොහැකි බව දන්නා නිසා කෙරෝනාව ගැන භීතිය මවා මැතිවරණ සිතියම හකුළවමින් සිටී.

         එහෙත් මැතිවරණ කල් දැමීම බරපතල ලෙස ජනතාවගේ මානව හිමිකම් කඩකීරීමකි. එයින් වැඩිපුරම අසාධාරණයට ලක්ව ඇත්තේ අවුරුදු 18 ඉක්මවීමෙන් සිය කුළුදුල් ඡන්දය භාවිතකිරීමට අපේක්ෂාවෙන් සිටි තරුණ තරුණීයන්ය. මැතිවරණ වර්ෂ අනුව වසරක ජුනිමස 30න් පසු ඉපදුණු අය අවුරුදු 18 ලැබුවද පුරවැසි නාමලේඛනයට ඇතුළත නොවේ. ඒ ඊට පෙර ඡන්ද නාමලේඛනය ලබාගන්නා නිසාය. ලංකාවේ නීතිය අනුව දරුවන් සම්බන්ධ  එක් එක් නීතියට ඇත්තේ  විවිධ වයස්පරතරයන්ය.

විශේෂයෙන් 2000 ජුනි මාසයෙන් පසු ඉපදුණු අය මේ වනතෙක් සිය කුළුදුල් ඡන්දය භාවිත කර නැත. ඔවුහු මේවනවිට 22 වැනි වියට පාතබමින් සිටිති. එමෙන්ම 2001 වර්ෂයේ ඉපදුණු දරුවන් දැන් සිටින්නේ 21 වැනි වියට පාතබමිනි. 2002 ඉපදුණු අය 20 වැනි වියටත් 2003 ඉපදුණු අය 19 වැනි වියටත් පාතබමින් සිටියත් ඔවුන්ට තවමත් සිය කුළුදුල් ඡන්දය දැමීමට ඉඩ ලැබී නැත. සංඛාත්මකව ගත් කල මේ ප්‍රමාණය ඉතා විශාලය.

2004 ඉපදුණු අය 18 වැනි වියට පාතබමින් සිටියත් ඔවුන්ට මේ වසරේ මැතිවරණයක් තිබුණහොත් ඡන්ද අයිතිය හිමිනොවේ. එයද තවත් පසෙකින් තරුණ ප්‍රජාව මුහුණ දෙන ගැටළුවකි. අවුරුදු 18 දි සිය පුරවැසි අයිතිය හිමිවනතුරු මේ ලියන ලියුම්කාරියද බලා සිටි අයුරු මතකය. එහෙත් මට එය ලැබුණේ අවුරුදු 19යි මාස 6ක් ගිය පසුය. එම වයස් සීමාව ආසන්නයේ එකම හීනය සිය පුරවැසි අයිතිය ලබා වැඩිහිටියකු වීමේ අභිලාෂය හිතට දැනගැනීම හා සමාජයට එළිදරව් කිරීමේ නොතිත් අසාවයි. එය තරුණ වියට පා තබන කාගෙත් අපේක්ෂාවයි. එම ආසාව තියා නීතියෙන් උරුම පුරවැසි අයිතියද අමු අමුවේම උල්ලංඝණය කරන මේ ආණ්ඩුව හා එහි පාලකයන්ට ගැති බුද්ධිමතුන්ද ක්‍රියා කිරීම අවාසනාවන්ත තත්ත්වයකි. තමන් තරුණ වියේ ආරම්භයේදි ක්‍රියාකළ හැටි වැඩිහිටි විය ඉක්මවමින් මෙන්ම වෘද්ධවියේ මැද කොටසත් ඉක්මවා සිටින පාලකයින්ට අමතකවීමත් රටේම අවාසනාවකි.

දැන් සිදුව ඇත්තේ වැටත් නියරත් ගොයම් කෑ සිද්ධිය හා සමාන දෙයකි. මේ අවනඩුව කියාගත නොහැකි තැන තරුණ පිරිසක් ශ්‍රේෂ්ඨාධීකරණයේ පිහිට පතා තමන්ට අවුරුදු 19 ලබන විටත් පුරවැසි අයිතිය හිමි නොවීම ගැන ප්‍රශ්න කරමින් නඩුවක් ගොනු කළහ. එයින් ඔවුන් ජය ලැබුවද ක්‍රියාත්මක කළ යුත්තේ රජයයි. නමුත් ජයග්‍රහණයේ පිපාසයෙන් දැවී සිටින රජය පරාජය පෙනී පෙනී මැතිවරණ තැබීමට කැමැති නැත. ජයග්‍රහණයේ පිපාසයෙන් පමණක් සිටින පාලකයින් තව දුරටත් බොරු බේගල් ඇදබාමින් මැතිවරණ කල් දමමින් සිටී.

පළාත් සභා මැතිවරණවලින් අන්තිමට පැවැත්වූයේ ඌව පළාත් මැතිවරණයයි.ඒද 2014 දීය. එයින් ජරාජය ලැබූ එවක ආණ්ඩුව ඇදගෙන නෑ හැටි කාටත් මතක ඇති නිසා මෙවර සිමෙන්ති,පොහොර, හාල්, සීනී තෙල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර හෝ ද්‍රව්‍ය හිඟ හා මිලාධික සමයක මැතිවරණයකට යෑම සියතින් ගෙල සිදගැනීමකට සමානයැයි ආණ්ඩුවද දනී. එසේ ජරාජය භාරගැනීමට අකමැති හිතුවක්කාර ඒකාධිපතියකුට තව දුරටත් රජ කරගෙන රට වනසන්නට දෙනවාද නැද්ද යන්න දැන් දැන් ජනතාව දෙසින් නැගෙන පැනයකි. එය ලාවා නැතැයි සිතාසිටින ගිනිකන්දක් මෙනි. කොයි මොහොතේ කෙසේ ඇවිලේවිදැයි නොදනී. ඇවිලුන විට සිදුවන හරියද ආණඩුවද දනී. එහෙත් එය නෑසුකන්ව සිය හොරකම, දූෂණය, නාස්තිය; නේක සමාජ ප්‍රශ්න මවමින් තාවකාලික යටපත් කිරීම්වලින් වසා ගැනීමට ප්‍රයත්න දරමින් සිටී. මේ වෑයම වහා නැවැත්වීමට පෙළ ගැසිය යුත්තේද බලය දුන් ජනතාවමයි.