විදුලිය බිඳවැටීමට අරුම පුදුම හේතු නෑ .ඉල්ලුමට සාපේක්ෂව අපේ සැපයුම ප්‍රමාණවත් නොවන තත්ත්වය මත විදුලිය විසන්ධි වීම සිදුවිය හැකිය. නොඑසේ නම් තාක්ෂණික බිඳවැටීම් විදුලි ඉංජිනේරු ගැටලු වැනි තත්ත්වයන් විදුලිය බිඳවැටීම සඳහා ප්‍රබලවම බලපෑම් කරයි . අද වන විට විදුලි විසන්ධි වීමට බලපා ඇති ප්‍රබලම හේතුව විදුලි ජනනයට අවශ්‍ය දැවිතෙල් නොමැති කම මිසනෙකක් නොවේ.

අද වන විට රටම කළුවරේ. විදුලිය බිඳ වැටීම ප්‍රවාහනය, ගමනාගමනයට පමණක් නොව සමස්ත ආර්ථිකයට මෙන්ම සෞඛ්‍යයටත් බලපෑම් එල්ල කර හමාරය. කොවිඩ් ඩෙංගු රෝග තත්ත්වයන් මත මරණාසන්නයේ සිටින රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම පවා මේ තත්ත්වය මත අභියෝගයට ලක්වෙමින් තිබේ. දැඩිසත්කාර ඒකක උපකරණ භාවිතා වනුයේ විදුලියෙන්ය. මෙම තත්ත්වය මත අත්‍යවශ්‍ය සැත්කම රාශියක් ඇනහිට ඇති තත්ත්වයක් දැනගත හැකිව තිබේ. විදුලිය නැත්නම් ” ජෙනියක් ගේමු ” කියන්නටද අද බැරිය . ජෙනියට තෙල් දාන්නට ගව් ගානක් පෝලිමේ මග බලන්නට සිදු වී ඇත.

තාප්පවල චිත්‍ර ඇන්දාට වැඩිය ෂෙඩ් වල චිත්‍ර ඇන්දා නම් අඩුම චිත්‍රවත් බලන්න තිබුණයි කියන්නට 69 ලක්ෂයට දැන් සිති ඇත. නොකා නොබී ඉන්න රටක් ඉල්ලපු උදවියට පැය පහක හයක විදුලිබිඳ වැටීම සාමාන්‍ය විය හැකිය.නමුත් මේ තත්ත්වය මත ප්‍රවාහනය, ගමනාගමනය දෛනික ජීවිතයේ සියලු කටයුතු අඩපණ වී අවසන්ය. රටේ සමස්ත ආර්ථික පද්ධතියටම එල්ලවී ඇති මරු පහරකි. බලශක්තිය සිරුර පුරා දුවන රුධිරය මෙන් අත්‍යවශ්‍ය සාධකයකි. ලේ ගමනාගමනය අඩපණ වීම ශරීරය අඩපණ කරනවා මෙන්ම බලශක්තිය නතර වීම ජාතියම අඩපණ වීමයි.

එක මොළයකින් කරන්න බැරි වූ දේවල් මොළ හතකින් කරන්න බලන් හිටිය ජනතාවට මේවා හොද පාඩම්ය. දුටුගැමුණු රජතුමා වැඩ කළෙත් කළුවරේ. දැන් අපිටට්ත් සිදු වන්නේ කලුවරේ ඉදන් රට හදන්නයි. වර්තමාන ආණ්ඩුව හිතන දේ කරන කරන දේ කියන ආණ්ඩුවක් වූවානම් අඩුම මෙවර විභාගය ලියන දරුදැරියන්ට කාලසටහනක් හදාගෙන තම පාඩම් කටයුතු වල නිරත වන්නට තිබුණා. දකුණට කපනවා පැයක් කපනවා. උදේට කපනවා රෑට කපනවා. විදුලිය කපන වෙලාව හෙට 12ට කලින් කියන්නම් කියන ආණ්ඩුවට අපිට කියන්නට තියෙන්නේ විදුලිය කපන වෙලාව කෙසේ වෙතත් විදුලිය ලබා දෙන වේලාවල් නිශ්චිත වශයෙන් දැනුම් දිය යුතු බවය. එසේ නැත්නම් විදුලිය කපන බව සෘජුව ප්‍රකාශ කළ යුතුයි.

විදුලිය නැති නිසා ඉටිපන්දම් හොයාගෙන සවසට ගෙදර යන හැට නම ලක්ෂයේ මහත්වරුන් දැන් කියනවා ඇත්තේ ” ඩාර්ලින් අපි මියන්මාරයේ හාලෙ බතට බන්දුලගේ අසුවේ පොල් ගෙඩියෙන් සම්බෝලයක් අනාගෙන කැන්ඩල් ලයිට් ඩිනර් එකක් ගමු ඒ කියලයි”. රෑ වෙන විට මුහුණු පොතේ උඩට පහළට යන්න දුරකථනයේ චාජ් ප්‍රමාණය නැති එකේ වැලේ ගෙඩි වැලට බර නෑ කියලා අලුත් පරම්පරාවක් සෑදිය යුතු බව නිතරඟයෙන් සිහියට නැගේ . උදේට නැගිටලා ගෑස් පෝලිමේ ඉන්නයි , ලමයින්ට කිරි නැතුව අඬනකොට ඒ පෝලිමේ හොයන්න දුවන්නයි , පාන්දරින් යන්න වෙන නිසා ඒ වැඩේ අමතක කරලා ඔන්න ඔහේ නිදාගමු කියලා කියනකොට තමයි ‘සර් තමයි හොඳටම කරේ” කියල මතක් වෙන්නේය. කලුවරේ ඉන්න වෙන වේලාව මීට පෙර අවස්ථාවලදී දැනුම් දුන්නා නම් මහජනතාවට පන්දම පත්තු කරගන්න අවශ්‍ය බූමිතෙල් අරගන්න මීට කලින් පෝලිමේ ඉඩක් අල්ලගන්න තිබුණා.

රාජ්‍ය ආයතන වල විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු බවට පසුගිය විසි එක් වැනි දා නව චක්‍රලේඛයක් නිකුත් කළ බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දුන්නේය. රාජ්‍ය ආයතන වල වායු සමීකරණ භාවිතය සීමා කිරීමට මෙන්ම අත්‍යවශ්‍ය නොවන අලංකරණ කටයුතු සඳහා විදුලිය භාජනය ද සීමා කරන බව මෙහි සඳහන් විය. දුර බැහැර ප්‍රදේශවල සිට රාජ්‍ය නිලධාරීන් කොළඹට කැඳවීම කැසට් වගේ ගැසට් ගහන මේ ආණ්ඩුවේ මෙම චක්‍ර ලේඛනයේ සීමා කර තිබේ. හැකි සෑම අවස්ථාවකදීම සූම් ඔස්සේ සාකච්ඡා හා සම්මන්ත්‍රණ පවත්වන ලෙස උපදෙස් දුන් ලේකම්වරයා විදුලිය නැතිව විදුලි උපකරණ පණ ගන්වන හැටි කියල දුන්නනම් එය සාර්ථක ය .

පන්දහසේ දීමනාවත් නොමැතිව කොරෝනා එක්ක සෙල්ලම් දාන පෞද්ගලික අංශයේ සේවකයන්ට එම ක්‍රමය අත්හදා බැලීමට ඉඩ ප්‍රස්ථාව ලබා දිය යුතුය. පසුගිය පෙබරවාරි 18 වැනිදා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ බලාගාර කිහිපයක් අක්‍රිය වීම නිසා මෙගාවොට් 400ක පමණ විදුලි හිඟතාවයක් මතුව ඇති බවය. එම නිසා කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් බලාගාරයේ ඉන්ධනද රාත්‍රී 7 වන විට අවසන් වීමට නියමිතව තිබුණි .එදින රාත්‍රියේ උපරිම ඉල්ලුම මෙගාවොට් දෙසීයක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බවත් ඒ වන විට මෙගාවොට් හයසීයක් ජාතික පද්ධතියට අහිමිවීම නිසා පසුගිය පෙබරවාරි 18 වනදා අදියර දෙකක් යටතේ විදුලි කප්පාදුවට විදුලි බල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය. “

බලාගාර වලට තෙල් නැති උනොත් මේ තත්ත්වය ඇතිවෙයි කියලා අපි උපකල්පනය කරලා තිබ්බා. අපිට විකල්ප නෑ තෙල් නැති උනහම බලාගාර ක්‍රියාත්මක කරන්න. යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා”

69 ලක්ෂය ප්‍රකාශ කරන අන්දමට අවුරුදු දෙකක් විදුලිය ලබා දුන් නිසා පැය දෙකක් විදුලිය කැපුවා කියලා ප්‍රශ්ණයක් සිදුවන්නේ නෑ. විදුලි කප්පාදුව ඉටුකරන්නේ දවසින් දවස. ජල සංචිත ප්‍රමාණය අඩු වී ඇත. මේ වන විට ජලවිදුලි උත්පාදනය ගිගාවොට් පැය 7.5ක් දක්වා අඩුවී ඇත. සදුදා දිනයෙන් ආරම්භ වන සතිය අසීරු විය හැකි බව පවසන රත්නායක මහතා අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා සියලුම පාරිභෝගිකයින් සහයෝගය ලබා දිය යුතු බවද ප්‍රකාශ කළේය.

ලක්ෂ ගණන් හිඟ තියාගෙන ලයිට් වලින් බැබලි බැබලි රටේ අනාගතය ගැන මහජනතාවටත් වඩා හිතන පාර්ලිමේන්තුවේ 225 කගේ ගෙවල්වල බිලුත් ගෙවන පාරිභෝගික ජනතාව ලබාදෙන සහයෝගය ප්‍රමාණවත් මදි ද යන්න ජනතාව ප්‍රශ්ණ කර සිටීයි. ආණ්ඩුව මෙසේ කළා, චීනය මෙසේ කළා, ඉන්දියාවෙන් මෙහෙම කරා කියන ලොකු ලොක්කෝ, එක වේලක් කාලා තවත් වේලක් පෝලිම් වල ඉඳලා අවුරුදු ගාණක් පුරා පඩියෙන් කපපු අර්ථසාධක යටත් බදු ගෙවන්න සූදානම් වෙන ජනතාව කරපු හැටි කවුරුත් ප්‍රකාශ කරන්නේ නැත. රුපියල් 100ට ලයිට් කපලා යන විට දවසෙන් භාගයක් කළුවරේ හිටපු ජනතාව තමයි හොඳටම කරේ.

අවුරුදු දහතුනක් කන්නන්ගර ශ්‍රීමතානන්ට පින්සිද්ද වෙන්න නිදහස් අධ්‍යාපනය ලබන අපේ දූ-දරුවෝ ‘ කපුටා හිට් ද ප්ලේන්’ කියලා ඉංග්‍රීසි ඉගෙන ගෙන ඇමරිකාවට ගිහින් පුරවැසිකම අරගෙන ලංකාවට පැමිණ දේශපාලන ජොබ් එක කරලා රට හදන්න ඉගෙන ගන්න, බොහොම අමාරුවෙන් ලියන උසස් පෙළටත් පාඩම් කරන්න වෙලා තියෙන කළුවරේය. කළුවරය පාඩම් කරලා විභාගය අසමත් වුවහොත් මොන අප්පච්චිට කියන්න ද? “මැදමුලනේ දරුවන්ට මෙන් රටේ අනෙකුත් සමස්ත දරුවන්ට ජෙට් යවන්න උගන්වන්න අපිට බෑ හාමුදුරුවනේ කියලා ” දුප්පත් දෙමාපියන්ට කියන්න සිදුවී හමාරයි. රුසියාවේ පුටින්ට සිංහල බැරි නිසාත් මට ඉංග්‍රීසි බැරි නිසාත් මෙසේ ඉවසන්න සිදුව ඇත. එසේ වී නැත්නම් දුරකථනය චාජ් කරගෙන පුටින්ට් කෙටි පණිවිඩයක් යවනවා යුක්රේනය නෙවෙයි අනාගතයේ චීන කොලනියක් වෙන්න තියෙන ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ ආක්‍රමණය කරන්න කියා.