රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයේ වගකීම භාරගෙන මහබැංකු මුදල් මණ්ඩලයේ සියළු සාමාජිකයන් ඉල්ලා අස්විය යුතු බව, සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය දා පවසා සිටියේ ය.

කෙසේ හෝ මේ වනවිට මුදල් මණ්ඩලයේ එක් සාමාජිකයෙකු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව වාර්තා වේ.

එසේ ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන්නේ සමන්ත කුමාරසිංහ මහතා ය.
ඔහු මුදල් මණ්ඩලයට පත්කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

සමන්ත කුමාරසිංහ මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් භාරගෙන තිබේද යන්න පිළිබදව මෙතෙක් තහවුරු වී නැත.

මුදල් මණ්ඩලය සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත වේ.

මහබැංකු අධිපති, මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ තවත් සාමාජිකයන් තුන් දෙනෙකු ඊට ඇතුළත් ය.