පසුගිය සතියේදී වරෙන්තු ලබා සිටින එතනෝල් ව්‍යාපාරිකයෙක් බේරා ගැනිම සදහා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හා රාජ්‍ය ඇමැතිවරයෙක් මැදිහත්වීම ආණ්ඩුව යළිත් කැළඹීමට ලක් කර තිබෙන්නේය. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයක් මෙම ව්‍යාපාරිකයා ලංකාවට ගෙන්වාගෙන ඇති අතර ඔහුට වී.අයි.පි. පහසුකම් ලබාදීමට මැදිහත්වී ඇත්තේ රාජ්‍ය ඇමැතිවරයෙකි.

එක්ස්පෝ ලංකා ප්‍රදර්ශනයට සහභාගීවීමට ගිය මධුර විතානගේ මන්ත්‍රීවරයා සහ මෙම ව්‍යාපාරිකයා ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන් පැමිණෙන පිවිසුම හරහා පැමිණ ඇත්තේ සංචාරක අමාත්‍යාංශය විසින් ලබාදුන් අවසර ලිපියකට මුවාවෙමිනි.ගුවන් යානය නතර කරන ස්ථානයටම අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමැතිවරයා පැමිණ ඇත.

එසේ ගුවන් යානය නතර කරන ස්ථානයටම යාම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සදහා විශේෂ අවසරයක් තිබිය යුතුය.

‘‘ඔයා කොහොමද මෙතැනටම ආවේ’’අරුන්දික දුටු මධුර ඇසුවේය.

‘‘මම අවුරුදු දහයක් එයාර් ලංකා එකේ වැඩ කළානේ. මට මේක ගෙද වගේ’’අරුන්දික උත්තර දුන්නේය.

මේ අතර ව්‍යාපාරිකයාට වී.අයි.පී. පහසුකම් ලබාදීමට නොහැකි බව ගුවන්තොටුපොලේ නිලධාරීන් පවසන විට ඔහු රැගෙන ගොස් ඇත්තේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමැතිවරයාය.

අවසානයේදී වරෙන්තු ලැබ සිටි ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර ඒ සියල්ලටම මැදිහත්වූයේ අරුන්දිකය.