සමගි ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ ජනතාවගෙන් වසන් කිරීමට කිසිවක් නොමැති බවත් සමගි ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරි මැතිවරණයේදී සියලු දෙනාට දැන ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින බවත් ජේ.සී අලවතුවල මහතා සඳහන් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා මේ බව සඳහන් කළේ ඊයේ (08) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.

ජේ.සී අලවතුවල මහතා අවධාරණය කරමින් කියා සිටියේ සමගි ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සමගි ජනබලවේග ආර්ථික කමිටුවේ සිටින විශේෂඥයින් ඕනෑම තැනකට ඇවිත් කතාකරන්න සුදානම් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා මෙසේද පැවැසීය.

‘‘සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුවට රටේ ආර්ථිකය සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ආරාධනා කළා. ඒ අවස්ථාවේදී ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරන සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සමඟ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයක පැමිණෙන්න කියලා. ඒ අභියෝගය භාර ගන්නා බවත් ඕනෑම විවාදයකට සුදානම් බවත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරලා තිබෙනවා. රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට හැකි කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයේ පමණයි. රටේ ආර්ථිකය ගොඩගන්නේ කොහොමද කියලා රටටම ප්‍රකාශ කරන්න , ඕනෑම විවාදයකට සහභාගි වෙන්න සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා සමඟ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරන ආචාර්ය හර්ෂ ද සිල්වා , ඉරාන් වික්‍රමරත්න , කබීර් හෂිම් සූදානම්.

ජාතික ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ කුමක්ද කියලා රටට ප්‍රකාශ කරන්න. ඒ පිළිබඳව දැන ගන්න රටේ ජනතාව නොයිවසිල්ලෙන් බලාගෙන සිටිනවා. ජාතික ජනබලවේගය ශ්‍රී ලංකාව කිව්බාවක් කරනවාද , උතුරු කොරියාවක් කරනවාද කියලා රටේ ජනතාව ඉදිරියේ කියන්න. අපි ජාතික ජනබලවේගයට කියනවා රටේ ජනතාව රවට්ටන්න උත්සහ කරන්න එපා කියලා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් ඔහුගේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ නෑ. ආර්ථික වැඩපිළිවෙළ ප්‍රකාශ කරන්න ඔහු කිසිදු මාධ්‍යයට ආවේ නෑ. ඔහුගේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන පිරිස් මාධ්‍යයට ආවෙත් නෑ. ජාතික ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ ජනතාවට සඟවන්නේ නැතිව ඉදිරිපත් කරන්න කියලා අපි කියනවා. ගෝඨාභය පාට් ටූ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නෑ.

සමගි ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තියේ හංගන්න දේවල් නෑ. සමගි ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරි මැතිවරණයේදී සියලු දෙනාට දැන ගැනීමට සඳහා ඉදිරිපත් කරන්න සුදානම්. එය පත්‍රිකාවක් ලෙස සකස් කර සෑම නිවසකටම ලබාදීමේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. සමගි ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සමගි ජනබලවේග ආර්ථික කමිටුවේ සිටින විශේෂඥයෝ ඕනෑම තැනකට ඇවිත් කතාකරන්න සුදානම්.
රට භාර ගැනීමට සිටින කණ්ඩායමේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ දැනගන්න ජනතාවට අයිතියක් තිබෙනවා. රට ගොඩගැනීමේ ආර්ථික වැඩපිළීවෙළ පිළිබඳව ජනතාවට ඉදිරිපත් කරන්න ජාතික ජනබලවේගය කටයුතු කළ යුතුයි. මොකද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටේ ආර්ථිකය ගොඩගන්නේ කොහොමද කියලා කිසිදු අවස්ථාවක කතා කළේ නෑ. ඒ සම්බන්ධයෙන් අභියෝග කළාම එය මගහැරියා. ඒ විදිහටම තමයි ජාතික ජනබලවේගය අද කටයුතු කරන්නේ. ජානාධිපතිවරණයට වෙනම ආර්ථික ප්‍රතිපත්තියක් , මහ මැතිවරණයට වෙනම ආර්ථික ප්‍රතිපත්තියක් , පළාත් පාලන මැතිවරණයට වෙනම ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව ජාතික ජනබලවේගය ප්‍රකාශ කරලා තිබුණා. එවැනි ආර්ථික ප්‍රතිපත්ති තිබෙන කණ්ඩායමක් කොහොමද රට ගොඩගන්නේ. රටේ ජනතාව රවට්ටන්න මෙවැනි පිරිසකට ඉඩ දෙන්න බෑ.

පාර්ලිමේන්තුව තුළ සිටින රටට ආදාරය කරන , හොරු නොවන රට පිළිගත්ත කණ්ඩායම් සමගි ජන සන්ධානයට එකතු කරගන්න අපි කැමැතියි. පාර්ලිමේන්තුවට පිටතින් සිටින බුද්ධිමතුන් , ව්‍යාපාරිකයන් , විශාල පිරිසක් බලාගෙන සිටිනවා ජනබලවේගය සමඟ එකතුවෙන්න. අපි ඒ සියලු දෙනාට ආරාධනා කරනවා. රට ගොඩගැනීමට සිටින හොදම කණ්ඩායම සිටින්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා සමඟයි. පසුගිය රජයේ හිටපු සියලු කණ්ඩායම් රට ආර්ථික වශයෙන් බංකොලොත් කරන්න කටයුතු කළේ නෑ. වර්තමාන පාලනය වැරදියි කියලා එළියට පැමිණි කණ්ඩායමක් තමයි සමගි සන්ධානය සමඟ එකතුවුණේ. ඒ වගේම කියන්න ඕන ගෝඨාභය රාජපක්ෂ බලයට ගේනන කටයුත් කළ වියත්මග කණ්ඩායමේ සියලුම දෙනා සමගි ජන සන්ධානයට එකතු කර ගන්න අපේ කිසිදු අදහසක් නෑ. රට ගොඩගත යුතුයි කියලා හිතන සියලු දෙන එකතු වෙන්නේ සමගි ජනබලවේගය සමඟයි”