මේ රටේ අයවැය හරහා ලැබෙන මුදලින් රට ගොඩ ගන්න නොහැකි නිසා රාමුවෙන් පිටතට පැන තීන්දු තීරණ ගත යුතු බවත් විපක්ෂය විසින් මෙරට රජයේ පාසල් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමත් එවැනි රාමුවෙන් පිට පැන සිදු කරන කටයුත්තක් බවත් මේ වන විට රජය පවා විපක්ෂයේ මේ ක්‍රියාදාමය අනුගමනය කරමින් සුහුරු පන්ති කාමර ලබා දීමට සූදානම් බවත් ඒ ගැන සතුටු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම සක්‍රීයව විපක්ෂයේ දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය මෙවැනි සේවා සිදු කරන විට එම වැඩසටහන් අනුගමනය කරන්න යම් අයකු කටයුතු කරන්නේ නම් ඔවුන්ට සුබ පතා එම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙන බවත් එහි අරුත කිසිම අවස්ථාවක රජයට එක් වීමක් නොවන බවත් තමාගේ දේශපාලන ක්‍රියාදාමය මෙන්ම සංවර්ධන ක්‍රියාදාමය හාත්පසින්ම වෙනස් එකක් බවත් එම නිසා ඒ දෙක පටලවා නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 145 වැනි අදියර යටතේ අද පුත්තලම වෙන්නප්පුව නයිනමඩම සාන්ත මරියා මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයට අවශ්‍ය සංගීත, නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මට බෙදනවා කියා චෝදනා කරන්නේ සැප විඳින සමාජවාදීන්

මේ රටේ සිටින අමනෝඥයෝ කොට්ඨාසයක් සජිත් ප්‍රේමදාස බෙදමින් සිටින බවට චෝදනා කරන බවත් බෙදිල්ල හොද නැහැ කියන්නේ අන්ත කොමියුනිස්ට් වාදී, අන්ත සමාජවාදී විප්ලව ගැන කයිවාරු ගහන නමුත් තමන්ගේ දුවා දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල පාසල්වල අඩුපාඩුවක් නොමැතිව ඉගෙන ගන්නා විප්ලවවාදීන් බවත් නැති තැනට බෙදන එක මොවුන්ට අනුව නරක බවත් මේ කුහකයන්ට අනුව ශබ්දකෝෂ ලබා දෙන එක පවා වැරදි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2019 වගේ ආයේ රැවටෙනවාද කියා ජනතාව තීරණය කරන්න

2019, 2020 දී දේශපාලනඥයෝ කිව්වේ අදට වැඩිය හොඳ අනාගතයක් ඇති කරන බව වුවත් අවසානයේ රටත් බංකොලොත් වී ජන ජීවිතත් විනාශ වී අවුරුදු මේසයේ තියෙන ආහාරවල මිල පවා දෙගුණයකින් වැඩි වී ජන ජීවිත අකර්මන්‍ය වීම බවත් 2024 මැතිවරණ වසරක් වුවත් බඩු මිල අඩු කරනවා යැයි කියන බවත් උද්ධමනය අඩු කරනවා බඩු මිල අඩු කරනවා කියන අයට උද්ධමනය ගැන විග්‍රහයක් සිදු කළ හැකි ද කියා අසන ලෙසත් නැවත වරක් ජනතාව නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

දුෂණය වෙනුවෙන් වූ වෛද්‍ය චමල් සංජීවගේ අරගලය ජය ගත්තා

ඇත්ත කතා කර මාස 17ක් වැඩ තහනමට ලක් වූ සමගි ජන බලවේග දුෂණ විරෝධී කදවුරේ සාමාජික වෛද්‍ය චමල් සංජීව මහතා නැවත සේවයේ පිහිටුවා ඇති බවත් ඒ මහතාව වැඩ තහනමට ලක් කරන ලද්දේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා හා ලේකම් ප්‍රමුඛ කණ්ඩායම කළ දූෂිත ක්‍රියාදාමයන් අනාවරණය කළ නිසා බවත් එසේ වැඩ තහනමට ලක් වුවත් ඔහු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වූ දූෂිත ගණුදෙනු ගැන කතා කළ බවත් අවසානයේ සත්‍ය හෙළිදරව් වී ඇති බවත් ඔහුගේ ඒ සටන ජය ගැනීම ගැන අතිශය සතුටු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 145 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1470ක් වැය කර තිබේ.