වර්තමානයේ ශ්‍රීලංකාව දැවැන්ත දේශපාලන සහ ආර්ථික අර්බුදයක් හමුවේ පසුවේ. ඉදිරි දශකයේ ශ්‍රීලාංකිකයන්ගේ ජීවිත පිළිබඳ ඉතා තීරණාත්මකව බලපෑ හැකි මෙම  අර්බුදය පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ සමග කරන ලද සාකච්චාවක් ඇසු‍රෙන් මේ ලිපිය ලියවේ

දැනට ඇතිවී තිබෙන අර්බුදය නිර්මාණය වූයේ ආර්ථික අර්බුදයකිනි. තීන්දු තීරණ ගැනීමට ප්‍රමාදවීමත් සමග ඇතිවූ ආර්ථික පීඩනය දේශපාලන අර්බුදයක් බවට දැන් පත්ව තිබේ. මිල ගණන් ඉහළයාම, ආර්ථික කටයුතු අඩාල වීම, රැකි රක්ෂා අහිමිවීම, ආදායම් ඉහළ නොයාම වැනි කරුණු මත ඇතිවූ පීඩනය හෙතුවෙන් මෙම අර්බුදය ඇතිවිය.

මෙම දේශපාලන ක්‍රමය බිද වැටී ඇත්තේ ඒ සමගය. දැන් පවතින තත්වය සලකා බැලූ විට, පවතින දේශපාලන අර්බුදය දිගින් දිගටම තීවෘ වුවහොත්, එමගින් ආර්ථික ගැටලුව විසදීම සදහා පවතින විසදුම් සීමා වෙමින් යයි. දේශපාලන අස්ථාවරත්වය මත සංචාරක කර්මාන්තයේ වර්ධනය බිද වැටෙමින් පවතී. අප්‍රේල් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම සියයට පනහකින් පමණ අඩුවී ඇත.

ඒ අතරම ණය සහන ලබාගැනීම සදහා ජාත්‍යන්තරය සමග කරනු ලබන සාකච්ඡාවලදී රජය විශ්වාස කළ තරමේ ප්‍රගතියක් අත් කරගැනීමට සමතවූයේ නැත. උදාහරණයක් ලෙස  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව ඉල්ලා සිටි ක්ෂණික ආධාරය ලබාදීම ප්‍රතික්ෂේප කළේය. එයට මූලිකම හේතුව වුයේ රට තුළ පවතින ආර්ථික අස්ථාවරත්වයයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙනට ණය ගෙවීමට ණය ලබාදීමට සූදානම් බව චීනය පැවසුවේය. එය එක්තරා ආකාරයක වැල් පොලී ක්‍රමයකි. දිගින් දිගටම ණය ගෙවීමට ණය ගැනීම වෙනුවට වත්කම්වල හිමිකාරීත්වය චීනයට ලබාගැනීම එහි අරමුණ විය. දේශිය වත්කම්වල අයිතිය චීනය සතුකරගැනීම එම උපක්‍රමය බව පැහැදිළිය.

මේ ආර්ථික අර්බුදය විසදීමට හැකියාව මෙම පවතින රජයට නොමැති බව පෙනේ. මෙම ආර්ථික අර්බුදය තවදුරටත් තීව්‍ර වීම තුළ එය දේශපාලන ප්‍රශ්ණයක් පමණක් නොව සමාජීය ප්‍රශ්ණයක් බවට පත්වෙයි. නැතිනම් වර්ගවාදී ගැටුම් බවට පත්විය හැකිය. මේ වන විට සමාජය තුළ හොරකම්, මිනීමැරූම්, පවුල් ගැටලු, සිය දිවි නසාගැනීම් ඉහළ ගොස් තිබේ. විශාල සමාජ අර්බුදයක් කරා මේ ආර්ථික අර්බුදය ගමන් කරමින් සිටී

ඉදිරි කාලය තුළද මෙම අවිනිශ්චිත ආර්ථික වටපිටාව පවතිනු ඇත. මෙම ප්‍රශ්ණය විසදීමට ගන්නා පියවර හේතු කරගෙන 2020 -2030 දශකය තරුණයින්ට අහිමි කළ දශකයක් බවට පත්වේ. ඉඩමක් ගෙයක් ලබාගැනීමට නොහකැකි වන, වාහනයක් මිලදී ගැනීමට නොහැකි වන, වසර දහයක් බවට පත්වනු ඇත. එයට මූලික හේතුව වන්නේ වත්මන් රජයේ අකාර්යක්ෂම හා අදූරදර්ශී ආර්ථික ක්‍රමෝපායයි. එවන් තත්වයක් තුළ ආණ්ඩුවේ වෙනත් පාර්ශවයකට හෝ, රජය, අගමැතිවරයා බලයේ තබාගත යුතු යැයි ඉල්ලා සිටිය නොහැකිය. එවැනි ඉල්ලීමක් සදාචාර සම්පන්න නොවේ. මේ ආර්ථික විපත කුමක්දැයි සියලුම මහජනතාවට අවභෝධ කරගැනීමට නොහැකිවී ඇති නමුත් මේ ආර්ථිකය 2030 දක්වා වන කාල සීමාව තුළ අර්බුදකාරී වාතාවරණයක පත්වනු ඇත. ඒ තුළ විශාල අවසනාවන්ත තත්වයකට තරුණ කණ්ඩායම් පත්වනු ඇත.

රට ආර්ථික වශයෙන් බංකොලොත්වී තිබේ. රටේ අත්‍යවශ්‍ය ආහාර හා අනෙක් ආනයනයන් සදහා මුදල් නොමැත. අනෙක් අතට ලබාගත් ණය ගෙවීමට නොහැක. මෙය සැබවින්ම බැංකොලොත් තත්වයකි. අපිට වත්කම් ඇති බවත්, එම වත්කම් විකුණා ණය ගෙවිය හැකි බවත් අයෙක්ට තර්ක කළ හැකිය. එහෙත් වත්කම් විකුණා ණය ගෙවන සම්ප්‍රදායක් ලෝකයේ නොමැත.

ඉන්දියාව හා චීනය සමග කරනු ලබන ගනුදෙනුවලදී ලංකාවේ වත්කම් විකිණිමට සිදුවනු ඇත. ඒ අනුව අධිවේගී මාර්ගය අනූ නම අවුරුද්දකට බදු දීමට සිදුවනු ඇත. වරාය, ගුවන්තොටුපොල, ගුවන් සේවාව, තෙල් සංස්ථාව, ජලය, සහ අනෙකුත් උපායමාර්ගික වැදගත්කමකින් යුත් මර්මර්ථාන ණය වෙනුවට ලබාගැනීමට ඉන්දියාව හා චීනය කැමැත්ත දක්වනු ඇත. රට ආර්ථික වශයෙන් බංකොලොත්වී ඇති බව දැන් පැහැදිළිය. බංකොලොත්වීම ගැන විශයානුබද්ධ නොයෙක් විග්‍රහයන් ඉදිරිපත් කළ හැකිය. අද වන විට රෝහල්වලට බෙහෙත් ලබාගැනීමට නොහැකි තත්වයක් ඇති රටක් බංකොළොත් යැයි නොකියන්නේ නම් බංකොළොත්භාවය යනු කුමක්ද යන්න ගැන අලුත් විග්‍රහයක් ඇති කරගැනිමට සිදුවනු ඇත.


මේ වනව විට රට බංකොළොත්භාවයට පත් කිරීමට වැඩිම දායකත්වයක් ලබාදී ඇත්තේ වත්මන් ආණ්ඩු පක්ෂය සහ ජනාධිපතිවරයාය. ඒ නිසා ඔවුන්ට බලයේ සිටීමට තවත් සදාචාර සම්පන්නභාවයක් නැත. මේ රට අප්‍රිකානු පන්නයේ රටක් බවට පත් කර ඇති බව ඔවුන් තේරුම් ගත යුතුය.

මේ ආණ්ඩුව බලයට පත්වූ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර අවශ්‍ය නොවන බව පැවසුවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියහොත් රටේ ජනතාවට දුක් විදීමට සිදුවනු ඇතැයි ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඇමැතිවරුත් පැවසූහ. ඔවුන්ගේ නොදැනුවත්භාවය මත හා උද්දච්චකම මත මේ ප්‍රකාශ කළේය.

එහෙත් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරුමුදලේ සහන ඉල්ලා සිටියේය. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව ඉල්ලා සිටි ණය පහසුකම් ලබාදීමට එකගවී නැත. ඩොලර් බිලියන තුන හතරක මුදලක් ලබාගැනීමට තිබූ අපේක්ෂාව සුනුවී ගොස් තිබේ.

දැන් ජාතයන්තර මූල්‍ය අරමුදල විසින් අවුරුදු තුනත් හතරත් අතර ලබාදෙන දිගු කාලීන මුල්‍ය ආධාරය පමණක් ලබාගැනීමට පමණක් දැන් අවස්ථාව ඉතිරිවී තිබේ. ඩොලර් බිලියන තුන හතරක මුදලක් ඒ හරහා ලැබීමට නියමිතව ඇති නමුත් එය ලැබෙන්නේ අවුරුදු දෙකත්, තුනත් අතර කාල සීමාවකදීය. එවිට සෑම මාස තුනකට හතරකට වරක් ඩොලර් මිලියන හාරසියක් පන්සියයක් ලැබෙනු ඇත. එය ලැබෙන්නේද අප ගනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණවලට සමගාමීවය

ඒ ආකාරය මාස තුන හතරකට වරක් ඩොලර් මිලියන තුන් හාරසියයක් ලැබීමෙන් දැනට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට හැකියාවක් ලැබෙන්නේ නැත. එය තේරුම්ගත යුතුව ඇත..

වත්මන් ආණ්ඩුව බලයේ සිටින තාක් කල් ජාත්‍යන්තර වශයෙන් ආධාර ලබාගැනීමේ හැකියාවක් නැත. අනෙක් පැත්තෙන් විදේශගත ශ්‍රමිකයින් පවසන්නේද වත්මන් ආණ්ඩුව තිබෙන තාක් කල් මුදල් නොඑවන බවයි. ඒ  අතරම විදේශ ආයෝජකයින් එන්නේද නැත.

අනෙක් පැත්තෙන් තනි දේශපාලන පක්ෂයක් බලයට පත්වීමෙන් පවතින ආර්ථික අර්බුදයෙන් විසදුම් ලබාගත නොහැකිය. ඒ සදහා ජාතික පක්ෂවල එකගතාවයෙන් යුත් යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතුය. රාජ්‍යයේ ඉහළ සේවකයින්ගේ හා වෘත්තිකයින්ගේන් සැදුම් ලත් ස්වාධීන ප්‍රතිප්තිති සැලසුම් සභාවක් ආරම්භ කළ යුතුය. මෙම ආයතන දෙකේ එකමුතුවෙන් ආර්ථිකය සම්බන්ධයෙන් වන තීරණ ගත යුතුය. තනි  රජයකට මේ අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසසංකරණ කළ නොහැකිය. එක් පක්ෂයක් බදු වැඩි කරන විට අනෙක් පක්ෂය එයට විරුද්ධව ජනතාව පෙළ ගස්වනු ඇත. මේ ආකාරයට දේශපාලන අස්ථාවරත්වක් සමග ගමනක් යා නොහැකිය. ඒ නිසා සියලුම පක්ෂවලින් සැදුම්ලත් පාලන තන්ත්‍රයක් සකස් කළ යුතුය. ප්‍රතිපත්ති සකස් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ වගකීම ජාතික ආර්ථික සැලසුම් සභාවකට පැවරිය යුතුය. එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ නීතිමය පසුබිම පාර්ලිමේන්තුව තුළ සකස්කිරිම ජාතික එකගතාවයකින් යුත් පත් කරන රජයක වගකම විය යුතුය. මේ අතර නිසි විගණනයකි්න යුත් මූල්‍ය පරිපාලනයක් පාර්ලිමේන්තුව දැරිය යුතුය.

තමන්ට පොහොර තහනම් කිරීම වැරදුන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම ප්‍රමාද වූ බවත් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පිළිගත්තේය. තමන් ගත් තීරණ නිසා රටේ ජනතාවගේ ජීවිත අදුරකට ගොස් ඇති බව ඔහු පිළිගත්තේය. තවදුරටත් බලයේ සිටිමින්, අන්තර්පාලන ආණ්ඩු පිහිටුවීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා උත්සාහ ගැනීම තුළින් තරුණයින්ගේ ජීවිතය අවුරුදු දහයක් ඔවුන්ට අහිමි කරනු ඇත. මේ පාපය තවදුරටත් සිදු නොකර තවදුරටත් ප්‍රමාද නොකර ආර්ථිකය විපතකට ඇති කිරීමේ වගකීම භාරගෙන ඉල්ලා අස්වී අලුත් පාලන ව්‍යුහයකට ඉඩ ලබාදිය යුතුය.

තමන් ඉවත් කිරීමට නොහැකි බව පවසමින් කටයුතු කිරීම මගින් ඇතිවන්නේ මහා ව්‍යවසනයකි. මේ වන විට අහිමි වන්නේ රටේ තරුණ ජීවිතයි. දැන්වත් නිවරදි දේශපාලන තීන්දු තීරණ ගත යුතුය. එසේ නොවන්නේ නම් රට තවදුරටත් අරාජිකත්වයට පත්වනු ඇත.