අධි නීතිඥ ඉම්තියාස් බාකීර් මාකාර් මහතා විසින් රචිත “මගේ කතාව” නම් ස්වයං චරිතාපදානය එළිදැක්වීමේ උත්සවයේදී, ඔහුගේ කතාවේ නව පරිච්ඡේදයක් ලියවූ බව ඒ මහතා පොත එළිදැක්වීමේ වැඩසටහන අමතමින් පැවසීය.

බෞද්ධාගම, ක්‍රිස්තියානි ආගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම මූලික කරගත් ප්‍රධාන ආගම් හතරෙන් පෝෂණය වූ සමාජයක් අපට තිබීම ඉතා සුවිශේෂී වටිනාකමක්  බවත්, සමානකම් සොයා ගොස් එකතු කරනවා මිස අසමානකම් සොයාගෙන ගොස් බෙදුම්වාදය වැපිරීම අප කිසිවෙකුගේ යුතුකම නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, අධි නීතිඥ ඉම්තියාස් බාකීර් මාකාර් මහතා සඳහන් කළේය.

අධි නීතිඥ ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ ‘මගේ කතාව’ නම් ස්වයං චරිතාපදානය එළිදැක්වීමේ උත්සවය පසුගියදා (05) කොළඹ 10. ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී මහත් හරසරින් පැවැත්විණි.

එදා මෙදා තුර තම ජීවිතයේ ලැබූ අත්දැකීම් සම්භාරය බෙදා ගත හැකි වන අයුරින් පරිච්ඡේද 19කින් සමන්විත මේ කෘතිය ඉමිතියාස් බාකීර් මහතාගේ බාල කාලය, පාසල් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය, නීති විද්‍යාල අධ්‍යාපනය, ශිෂ්‍ය සටන් සමඟ දශක පහක ප්‍රතිපත්තිමය දේශපාලනයක ගමන් මග සහ පෞද්ගලික ජීවිතය අලළා රචනා කර ඇති අතර, ඒ මහතා අකුරු කළ ආනන්ද විද්‍යාලයේදීම මේ කෘතිය දොරට වැඩීම ද සුවිශේෂී කරුණකි.

ග්‍රන්ථ ප්‍රකාශක හෙරස් ප්‍රනාන්දු මහතා විසින් ‘මගේ කතාව’ කෘතිය අධි නීතිඥ ඉමිතියාස් බාකීර් මාකාර් මහතා වෙත පිළිගන්වන ලදී. අනතුරුව අධි නීතිඥ ඉම්තියාස් බාකීර් මාකාර් මහතා විසින් ත්‍රෛනිකායික මහා සංඝ රත්නය, කතෝලික, හින්දු, ඉස්ලාම් ප්‍රසාදීන් වහන්සේලා ඇතුළු ප්‍රභූවරුන්ට සංකේතාත්මකව පිළිගැන්වීම සිදු කෙරිණි.

මේ අවස්ථාවේදී වල්පොල රාහුල ආයතනයේ අධ්‍යක්ෂ හා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමි, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ප්‍රවීණ මාධ්‍යවේදී ඒ රොනන්ද හෙට්ටිආරච්චි සහ ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය රංග කලංසූරිය යන මහත්වරු ද අදහස් දැක්වූහ.

මීට අමතරව මේ අවස්ථාවට ත්‍රෛනිකායික මහා සංඝ රත්නය, කතෝලික, හින්දු, ඉස්ලාම් ප්‍රසාදීන් වහන්සේලා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරණතුංග, මෛත්‍රීපාල සිරිසේන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්වරුන්, මැති ඇමැතිවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයන්, දේශපාලනඥයන්, ඒ මහතාගේ පවුලේ ඥාතීන්, විදෙස් තානාපතිවරුන්, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, ග්‍රන්ථ ප්‍රකාශකයන්, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා සහ ගුරු භවතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අධි නීතීඥ ඉම්තියාස් බාකීර් මාකාර් මහතා මෙලෙස අදහස් දැක්වීය.

“මගේ කතාව” මගින් මගේ කතාවේ අලුත් පරිච්ඡේදයක් ලියැවුණා

” අද මේ රැස්වීමට ඇවිත් ඉන්න අමුත්තන් දිහා බලන කොට මට හිතෙනවා මගේ කතාවේ අලුත් පරිච්ඡේදයක් අද ලියැවුණා කියලා. හේතුව මෙතැන විවිධ දේශපාලන අදහස් දරන නායකයන් ඉන්නවා. විවිධ ආගමික පසුබිම් තිබෙන උදවිය මෙතැන ඉන්නවා. විවිධ භාෂා කතා කරන උදවිය මෙතැන ඉන්නවා. මට ලොකු සතුටක් මේක. අපි ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ සමාජයක්. විවිධත්වය තුළ එකමුතුව තිබෙන සමාජයක්, විවිධත්වය තුළ එකමුතුව තිබෙන රටක්. ඒක තමයි අපි හැමෝගෙම ප්‍රාර්ථනය. බෙදුම්වාදී ආකල්ප, බෙදුම්වාදී අදහස්, බෙදුම්වාදී සිතුවිලි වගේ විස බීජ වපුරපු නිසා රටක් වශයෙන් අපි ඕනෑවටත් වඩා වන්දි ගෙවා තිබෙනවා. රටකට මෙහෙම යන්න පුළුවන්කමක් නෑ. මේක ඉවරයක් විය යුතුයි.

මේ ආනන්දය මගේ ජීවිතයේ ප්‍රධාන පන්නරය ලැබු ස්ථානය. මේ පින් බිම ආනන්දය. මේ ආනන්දය තුළ මම සුළු ජන කොටසක දරුවෙක් කියලා කිසි විටෙක වෙනස්කමක් දැනුණේ නෑ. මේ ආනන්දය තුළ මේ ශිෂ්‍ය නිවාසයේ කනිෂ්ඨ ශිෂ්‍ය සංගමයේ, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ධුර වලට මගේ මිත්‍රයන් අපේ ආනන්ද ශිෂ්‍යයන් මාව තෝරා ගත්තා. ශිෂ්‍ය නිවාසයේ ප්‍රධාන ශිෂ්‍ය නායකකමට මාව තෝරා ගත්තා, වසන්ත කරන්නාගොඩ මෙතැන ඉන්නවා. මට මතක් වෙනවා මම දකිනවා, මම ගරු කරන චර්තයක් ඒ මට තිබුණා එතුමාත් එක්ක හැප්පීමක්, ආනන්දයේ හොකී කණ්ඩායමේ නායකත්වයට. ඒ වෙලාවේ ගුරුවරුන් මාව තෝරා ගත්තා, හොකී කණ්ඩායමේ නායකයා හැටියට. මම කිසිසේත් විශ්වාස කළේ නෑ ආනන්දය තුළ එම නායකකම වසන්තට යනවා මිසක මට ලැබෙයි කියලා. නමුත් ආනන්දයේ ගුරුවරුන් තීරණය කළා මමයි හොකී කණ්ඩායමේ නායකයා විය යුත්තේ කියලා. ඒකයි ආනන්දය. ඒකයි ආනන්දය සමාජයට දෙන පණිවිඩය.

විවාද කණ්ඩායමේ නායකයා බවට මම පත් වුණා. යසස්සී ස්වාමීන් වහන්සේ කිව්ව විදියට හය දහසක් ළමයින් අතරින් එන්. එම්. පෙරේරා මහත්තයා ප්‍රධාන ආරාධිතයා ලෙස ත්‍යාග ප්‍රදාන උත්සවයට ආ වෙලාවේ ඒ හය දහසක් ළමයින් වෙනුවෙන් ස්තූති යෝජනාව ස්ථීර කිරීමේ අවස්ථාව ආනන්දයේ ගුරු මණ්ඩලය මට දුන්නා. ඒක තමයි ආනන්දය, මේක තමයි අපේ රටේ විය යුත්තේ.

සමානකම් හොයාගෙන ගිහිල්ලා එකතු කරනවා මිසක් අසමානකම් හොයාගෙන ගිහිල්ලා බෙදුම්වාදය වපුරන එක නෙමෙයි අපේ යුතුකම

අපේ රටේ තිබෙනවා ප්‍රධාන ආගම් හතරෙන් පෝෂණය වූ සමාජයක්. බෞද්ධාගම, ක්‍රිස්තියානි ආගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම මේ වටිනාකම් අපට තියෙනවා. මේ හරයන් අපට තියෙනවා. මේවා අතරේ සමානකම් හොයාගෙන ගිහිල්ලා එකතු කරනවා මිසක් අසමානකම් හොයාගෙන ගිහිල්ලා බෙදුම්වාදය වපුරන එක නෙමෙයි අපේ යුතුකම වෙන්නේ.

ලී ක්වාන් යූ ලංකාව දිහා හැරිලා බලලා කිව්වා, ලංකාවේ පරිහානියට හේතුව බෙදුම්වාදය කියලා. මේ බෙදුම්වාදී විස බීජ පරාජයට පත් කර අපි විවිධත්වය තුළ එකමුතුව විවිධත්වය තේරුම් ගන්න පුළුවන් සමාජයක්, විවිධත්වයට ගරු කරන සමාජයක්, විවිධත්වයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් සමාජයක් මේ රටේ හැදෙන්නට ඕනෙ.

සමහර උදවිය කියනවා සුළු පක්ෂ තියෙනවා, ජාතිවාදී පක්ෂ තියෙනවා, ආගම්වාදී පක්ෂ තියෙනවා කියලා. අපි ජාතික පක්ෂ හැටියට හැසිරිලා මේ සියල්ල එකතු කරගැනීමේ අභියෝගය මේ සමාජය ඉදිරියේ තියෙනවා. හිස් වචන නෙමෙයි හැසිරීමෙන් අපි ඒක පෙන්වන්න ඕනෙ.

මට මතක් වෙනවා මේ ආනන්ද භූමිය පෝෂණය කළ පුද්ගලයන් දෙන්නෙක්. ඒ සර් ඩී. බී. ජයතිලක සහ ටී.බී. ජායා මහත්වරුන්. ටී.බී. ජායා මහතාගේ ජීවිත කතාව මම ලිව්වා කෙටි කතාවක් විදියට දේශප්‍රේමයේ කැඩපත’ කියලා. එහි පළමු වෙනි පිටපත මම පිරිනැමුවේ ගල්කන්දේ හාමුදුරුවන්ට. කොළඹ සහිරාවේ තිබුණේ. මම ඒ පොත පිදුවේ අපේ සහීරාවට ජායාව තිළිණ කළ මේ ආනන්ද මාතාවට සහ ආනන්දය වගේම දේශප්‍රේම් බලකොටුවක් හදන්නට වෙර දරන සහීරා මාතාවට කියලා. හේතුව එදා ටී.බී. ජායා මහතාට සහීරාවේ විදුහල්පතිකම භාර ගන්න කුලරත්න මහතා තමයි අවසර දුන්නේ ගිහිල්ලා ඒක භාර ගන්න කියලා. සහිරාවක් හැදුවා. රට පුරා අධිරාජ්‍යවාදීන්ගේ පාලනය තියෙන කාලේ නූතන අධ්‍යාපනය අපේ දරුවන්ට දෙන කොට බෞද්ධ මව්පියන් බය වුණා. ඒ අධ්‍යාපනය දෙන්න. ධර්මරාජය, ආනන්දය, මලිය දේවය, රාහුල, නාලන්දය වගේ පාසල් පටන් ගත්තා. හින්දු නායකයන් හින්දු විද්‍යාල වගේ විද්‍යාල පටන් ගත්තා. ටී. බී. ජායා, සිද්ධි ලෙබ්බේ වගේ නායකයන් රට පුරා සහීරාවල් ගොඩ නැගුවා.

එදා ටී. බී. ජායා මහතා කළ ප්‍රකාශයක් මට මතක් වෙනවා. නිදහස් ලංකාවේ ඩී. බී. ජයතිලක මහතාත් ටී. බී ජායා මහතාත් නිදහසින් පසු සර් ඩී. බී. ජයතිලක මහතා ගියා ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා හැටියට. ටී. බී. ජායා මහතා ගියා පාකිස්තානයේ මහ කොමසාරිස්වරයා හැටියට. ටී. බී. ජායා මහතා තමන්ගේ පළමු වැනි කාලවකවානුව ඉවර කර ලංකාවට එන්න හදන කොට පාකිස්තානයේ නායකයන් සම්මාන පුරවැසිකමක් ඔහුට දුන්නා. ඒ මහතා මොකක්ද කිව්වේ. බොහොම ස්තූතියි මට ලංකාවේ පුරවැසිකම ඇති. ඔය ගොල්ලෝ ඒ දුන්න ගෞරවයට මම ස්තූතිවන්ත වෙනවා කියලා ඒක කාරුණිකව ප්‍රතික්ෂේප කළා. ඒකයි කිව්වේ දේශප්‍රේමී කැඩපත ටී. බී. ජායා කියලා.

රටක් හැටියට අපි ලොකු වළක වැටී තියෙනවා. මේ වළේ වැටුණු හේතු කතා කරන්න මේක අවස්ථාවක් නෙමෙයි. නමුත් මේ වළෙන් අපි ගොඩ ආ යුතුයි. මේ වළ අපේ දරුවන්ට භාර දෙන්න අපට යුතුකමක් නෑ. එහෙම නම් වගකීමෙන් අවබෝධයෙන් යුතුව එකිනෙකාට ගරු කරමින් ආර්ථික සමෘද්ධියට අවශ්‍ය පූර්ව අවශ්‍යතාවෙන් මේ රටේ අපි ගොඩනඟා ගත යුතුයි.

ආනන්ද පින් බිමේ ඉඳන් මම මේක අවස්ථාවක් කර ගන්නවා අපේ සියලුම නායකයන්ගෙන් විශේෂයෙන් මාධ්‍යවලින් ඉල්ලීමක් කරන්න. ලොකු වගකීමක් තිබෙනවා ඔබලාට මේ ජාතිය එකමුතු කරන්න. ලෝක බල තරගය, රජයේ දේශපාලන තරග, වාණිජ වාසි සඳහා කරන වෙළෙඳ තරග ඒ න්‍යාය පත්‍රවල ගොදුරු බවට පත්වෙලා අපි අවාසනාවන්ත ඉරණමකට මුහුණදී තිබෙනවා.

ඒ නිසා මේ අදෘශ්‍යමාන හස්තයන්ගේ න්‍යාය පත්‍ර තේරුම් ගෙන අපි ඒ වළේ වැටෙන්නේ නැතිව ඒවායේ ගොදුරු බවට පත් වෙන්නේ නැතිව අපේ දරුවන්ට අභිමානවත් සමාජයක්, අභිමානවත් රටක් භාර දෙන්න අධිෂ්ඨාන කර ගනිමු.”