රටේ තිබෙන ව්‍යස්ථාව තුළ තිබෙන අඩුපාඩු නිසා ස්ත්‍රී දුෂකයෙකු මෙන් රටේ බලය ඩැහැගෙන තිබෙන බවත් ජනවරමක් ජනමතයක් නැති මනුස්සයෙකු ඇවිත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සහමුලින්ම විනාශ කරලා තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා පැවසීය.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහිම් මෙන්ඩිස් මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (12) පදනම් ආයතනයේ පැවැති “යුක්තිය වෙනුවෙන් ජනමතය” නැමැති සම්මන්ත්‍රණයට එක්වෙමිනි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

  ‘‘රටේ තිබෙන ව්‍යස්ථාව තුළ තිබෙන අඩුපාඩු නිසා ස්ත්‍රී දුෂකයෙකු මෙන් රටේ බලය ඩැහැගෙන තිබෙනවා. දේශපාලන දූෂකයෙන් හිතාමතා බලය ඩැහැගෙන තිබෙනවා.  ජනවරමක් ජනමතයක් නැති මනුස්සයෙකු ඇවිත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සහමුලින්ම විනාශ කරලා තිබෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින, රටේ සිටින සියලු බලවේග  ඒකරාශි විය යුතුයි. රට බංකොලොත් කළ පිරිසට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික තීන්දුවට අනුව අපගේ ගාම්භිර පෞරුෂත්වය පෙන්නමු. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් වදිමු.‘‘