අපේ රට කිසි සේත් ඉබේ බංකොලොත් නොවූ බවත් රාජපක්ෂ කල්ලිය විසින් හිතා මතා රට බංකොලොත් කල බවත් අවධාරණය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කියා සිටියේ මෙම පිරිසගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ජනාධිපති කොමිසමක් පත් කළ යුතු අතර මොවුන් රටේ පුරවැසියන්ට අනිවාර්යෙන්ම වන්දි ලබාදිය යුතු බවයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ හර්ෂණ රාජකරුණා මහතා මේ බව කියා සිටියේ පසුගිය දා (12) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති “යුක්තිය වෙනුවෙන් ජනමතය” සම්මන්ත්‍රණය ආමන්ත්‍රණය කරමින්.

ඒ මහතා වැඩිදුරටත් පැවසූ අදහස්,

   ‘‘රට 2019  ගෝඨාභය රාජපක්ෂ බාරගන්න අවස්ථාවේ ඩොලර් බිලියන 8 ක මුදල් සංචිත මහබැංකුව සතුව තිබුණා. එම මුදල ඉතා කෙටි කාලයකදී ඩොලර් මිලියන 1500 ට අඩු වුණා. රට බංකොලොත් වුණා නෙවෙයි රට බංකොලොත් කළා. රට බංකොලොත් කිරීමට වගකිවයුත්තෝ කවුද කියන එක නිල වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකරලා තිබෙනවා. මේ තීන්දුව නිකන්ම නිකන් තීන්දුවන් බවට පත් කරලා මාස කිහිපයකින් අවසන් කරන්න බෑ. රාජපක්ෂලා රටේ තිබෙන කඩයක් නෙවෙයි බංකොලොත් කළේ. මිලියන 22 ක් ජීවත්වන සෞභාග්‍යමත් රටක් තමයි බංකොලොත් කළේ. අපි සෑම නගරයකම මේ සඳහා පෙත්සමක් අත්සන් කරගෙන යනවා. ආර්ථිකය බංකොලොත් කළ පිරිසට එරෙහිව දඩුවම් ලබාදෙන්න නීතිපතිවරයා කටයුතු කළ යුතුයි. මෙම පිරිසගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි. මොවුන් රටේ පුරවැසියන්ට වන්දි ලබාදිය යුතුයි. ආණ්ඩු වෙනස් කරන්න අපි සියලු දෙනා ඉදිරියට එන්න ඕන. අපි නායකත්වය ගන්න ඕන. රටේ අර්ථික බංකොලොත්භාවයට වගකිවයුතු දුෂිතයින්ට එරෙහි “යුක්තිය වෙනුවෙන් ජනමතය” පෙත්සමට අත්සනක් තබන්න රටේ සියලුම ජනතාවට අරාධනා කරනවා. ‘‘