නව ලෝකයට උචිත දැනුමෙන්, තාක්ෂණයෙන්, පුළුල් කුසලතාවයෙන් කාන්තාව සවිබල ගන්වා ඇය පවුලේ සහ රටේ ආර්ථිකයේ ජීවනාලිය බවට පත් කළ යුතු බව අවධාරණය කරමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදට යෙදී තිබෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.

“මෙවර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමු කිරීමට හැකිවීම මා ලද භාග්‍යයකි.

මවකගේ රැකවරණයත්, සහෝදරියකගේ සෙනෙහසත්, බිරිඳකගේ ප්‍රේමයත්, දියණියකගේ ආදරයත් එක හා සමානව විඳිමට වරම් ලද මා කාන්තාවක සතු ධෛර්ය, ශක්තිය, අධිෂ්ඨානය කෙබඳුද යන්න හොඳින්ම අවබෝධ කර ගෙන ඇති බැව් පැවසිය යුතුම ය.

අනාදිමත් කාලයක සිට මනුෂ්‍ය වර්ගයාගේ තිරසර පැවැත්ම රඳා පැවතියේ සවිබල ගැන්වූ කාන්තා පරපුරේ ශක්තිය මත බැව් අප සැවොම පිළිගන්නා කරුණකි. මෙරට සමස්ත ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන අතර එම කාන්තාවන් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට 29%ක සක්‍රීය දායකත්වයක් ලබා දෙනු ලබයි. උපන්දා සිට විවිධ භූමිකාවන් හිස දරා ගනිමින් ඇය මේ ලෝකය සුන්දර කිරීමට දරනා උත්සාහය අපට කිසිදා අමතක කළ නොහැකි ය.

බිළිඳියක් වී නිවසත්, තරුණියක් වී ලෝකයත්, බිරිඳක් වී කුටුම්භයත් සුන්දර කරන ඈ සතු අප්‍රතිහත ධෛර්ය සහ ශක්තිය, බිඳ වැටුණු අප දේශය නැවත ලෝකයේ අංක 1ට පත් කිරීමේ ගමන සඳහා ජීවනාලියක් බවට පත් කළ හැකි බැව් මා තරයේ විශ්වාස කරමි. නමුත් තවමත් අප රටක් ලෙස කාන්තාවන් සතු ධෛර්ය, ශක්තිය අවබෝධ කර ගෙන නොමැති බැව් පවසනුයේ කණගාටුවෙනි. අප තවමත් කාන්තාවට සලකනුයේ සාම්ප්‍රදායික අදහස්, මතිමතාන්තර මූලික කර ගෙනය. මේ ආකල්පයෙන් අප මිදිය යුතුය.

නව ලෝකයට උචිත දැනුමෙන්, තාක්ෂණයෙන්, පුළුල් කුසලතාවෙන් කාන්තාව සවිබල ගන්වා ඇය පවුලේ සහ රටේ ආර්ථිකයේ ජීවනාලිය බවට පත් කළ යුතු ය. එහි දී නිවසේදී, මහමගදී, වැඩබිමේදී ඇයගේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අප කටයුතු කළ යුතු ය. සැබෑ කාන්තා අයිතිවාසිකම් සුරැකෙන්නේ එවිටය”