ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගි ජනබලවේගයට කිසිදවසක අභියෝගයක් නොවන බවත් ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජනබලවේගය සූදානම් බවත් අද සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවැසීය.

පොදුජන පෙරමුණ මේ වනවිට කණ්ඩායම් කිහිපයකට කඩා වැටී ඇති බවත් පොහොට්ටුව කැලි වලට කැඩි යද්දී සමගි ජනබලවේගය ශක්තිමත් වන බවත් සේනසිංහ මහතා සඳහන් කළේය.

අද (07) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මෙසේ ද පැවැසීය.

‘‘මේ වසරේ නොවැම්බර් 18 වැනිදා වනවිට රටට අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගත යුතුයි. ඒ වගේම රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම ව්‍යවස්ථානුකූල සහ නීත්‍යානුකූල ක්‍රියාපටිපාටියට අනුව පත්කර ගත යුතුයි.

ඒ වගේම රට වැටී තිබෙන තත්ත්වයෙන් මුදා ගැනීමට ඉදිරි මැතිවරණවලින් තේරී පත්වන ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට හැකියාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ඔක්තොම්බර් 18 වැනිදා වනවිට ජනාධිපතිවරයා තෝරාගන්නා ක්‍රියාපටිපාටිය සම්පුර්ණ වී තිබිය යුතුයි. නොවැම්බර් 18 වැනිදා වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය අහෝසි වෙනවා. රටේ ඉදිරි ක්‍රියාපටිපාටින් ක්‍රියාත්මක කිරිමට ඔක්තොම්බර් 18 වැනිදා වනවිට රටට අලුත් ජනාධිපතිවරයෙක් පතකරලා තිබිය යුතුයි. ඔක්තොම්බර් මාසයට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා ජනාධිපතිවරයෙක් පත් කරගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුතුයි. ජනාධිපති මැතිවරණ ක්‍රියාවලිය අගෝස්තු මාසය වනවිට ආරම්භ කළ යුතුයි. මැතිවරණ සඳහා රුපියල් බිලියන 10 ක් වෙන්කරලා තිබෙනවා.

මේ අතර වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විවිධ අදහස් පළ කරනවා. ජනමත විචාරණයක් පිළිබඳව , පළාත් සභා මැතිවරණයක් පිළිබඳව , පාර්ලිමේන්තු මැතිවරණයක් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදහස් ඉදිරිපත් කරනවා. මේ තුනෙන් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න පුළුවන්. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්තුවොත් එයටත් සමගි ජනබලවේගය සූදානම්. ඒ වගේම ජනාධිපතිවරණයටත් සමගි ජනබලවේගය සුදානම්. ජනාධිපතිවරණය පැවැත්වීම කාටවත් වළක්වන්න බෑ. ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජනබලවේගය සූදානම්.‘‘

පොදුජන පෙරමුණ සමගි ජනබලවේගයට කවදාවත් අභියෝගයක් වෙන්නේ නෑ

‘‘බැසිල් රාජපක්ෂලා ප්‍රමුඛ පොදුජන පෙරමුණ සමගි ජනබලවේගයට කවදාවත් අභියෝගයක් වෙන්නේ නෑ. පොදුජන පෙරමුණ කොටස් කිහිපයකට කැඩිලා තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කළ තරුණ මන්ත්‍රීවරු පිරිසක් අදවනවිට ඇමැතිධුර ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ජනාධිපතිවරයා සමඟ එකතුවෙලා සිටිනවා. ප්‍රසන්න රණතුංග ප්‍රමුඛ කණ්ඩායමක් නාමල් රාජපක්ෂලාගෙන් සහ බැසිල් රාජපක්ෂලාගෙන් ඉවත් වෙලා අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සම්බන්ධවෙලා තිබෙනවා. තවත් කොටසක් කැඩිලා පොදුජන පෙරමුණෙන් ඉවත් වෙලාතිබෙනවා. පොදුජන පෙරමුණේ කොටසක් සමගි ජනබලවේගය සමඟ එකතුවෙලා සිටිනවා. නාමල් රාජපක්ෂ වෙනම ගමනක් යනවා , බැසිල් රාජපක්ෂ වෙනම ගමනක් යන්න උත්සහ කරනවා. මහන්ද රාජපක්ෂ වෙනම ගමක් යනවා. පොදුජන පෙරමුණේ ස්ථාවරයක් දකින්න ලැබෙන්නේ නෑ.පොදුජන පෙරමුණ කණ්ඩායම් කිහිපයකට දැන් කැඩිලා තිබෙන්නේ. පොහොට්ටුව කැලි වලට කැඩිලා යද්දි සමගි ජනබලවේගය ශක්තිමත් වෙලා තිබෙනවා. ‘‘

සමගි ජනබලවේගය ඕනෑම මැතිවරණයටක සුදානම්

‘‘සමගි ජනබලවේගය ඕනෑම මැතිවරණයටක සුදානම්. පාර්ලිමේන්තු මැතිවරණය ඉස්සල්ලා තියලා පාර්ලිමේන්තු මැතිවරණයට අකුල් හෙළන්න බෑ. පාර්ලිමේන්තු මැතිවරණයක් ආවොත් ෂෙහාන් සේමසිංහලාට , මහින්දානන්ද අලුත්ගමට , අමුණුගමලාට ඡන්දය ඉල්ලන්න වෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. පොහොට්ටුවෙන් ඉල්ලනවද , එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලනවද කියලා ඔවුන්ට තිරණය කරන්න වෙනවා. බැසිල් රාජපක්ෂලා තමන්ගේ ගොඩ රැකගන්න පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න උත්සහ කරනවා. එහෙම වුණොත් රනිල් වික්‍රමසිංහ සමඟ සිටින කොටසට ජනාධිපතිවරණයට සුදානම් වන ගමන් පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනත් අත්තක් හොයා ගන්න වෙනවා. ‘‘

විදෙස් රටවල් සමඟ තිබෙන ඩොලර් බිලියන 45 ක ගණුදෙනුව අනිර්වාර්යෙන් බේර ගන්න වෙනවා

‘‘ඩොලර් බිලියන 95 ක ණයක් කළමනාකරණය කර ගන්න සිදුවෙලා තිබෙනවා. ඩොලර් බිලියන 15 ක බැදුම්කර මුදල් ගෙවන්න තිබෙනවා. විදෙස් රටවල් සමඟ තිබෙන ඩොලර් බිලියන 45 ක ගණුදෙනුව අනිර්වාර්යෙන් බේර ගන්න වෙනවා. ඒ ගණුදෙනු බේර ගන්න නොහැකි වුණොත් රටට ඉන්ධන ගේන්න නොහැකි වෙනවා. එහෙම වුණොත් නැවත අරගලයක් ඇතිවෙන්න පුලුවන්. ඉදිරියේදී වර්ෂාව අඩුවුනොත් ඉන්ධන වලින් විදුලිය නිෂ්පාදනය කරන්න සිදුවෙනවා. එහෙම වුණොත් රටට විදුලිය නැතිවෙනවා. එහෙම වුණොත් රටේ සංචාරක කර්මාන්ත ඇතුළු කර්මාන්ත කඩං වැටෙනවා. එහෙම වුණොත් වර්තමානයේ තිබෙන පීඩනයට වඩා 10 ගුණයක පීඩනයක රට පත්වෙන්න පුළුවන්.‘‘

ජනතාවගේ වෛරය තුළින් ජාතික ජන බලවේගයට රැල්ලක් නිර්මාණය කරගන්න හැකිවෙලා

‘‘ජනතාවගේ වෛරය තුළින් ජාතික ජන බලවේගයට යම් රැල්ලක් නිර්මාණය කරගැනීමට හැකිවෙලා තිබෙනවා. පක්ෂ සියල්ල බලයේ හිටියා කියලා ජනතාව තුළ වෛරයක් ඇති කරලා ජාතික ජන බලවේගය බලාපොරොත්තු වෙනවා යම් වාසියක් ලබාගන්න. මහින්ද රාජපක්ෂ සමඟ එකට වැඩ කළේ අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම. සජිත් ප්‍රේමදාස මහන්ද රාජපක්ෂ සමඟ වැඩකරලා නෑ. රනිල් වික්‍රමසිංහ සහ මලික් සමරවික්‍රම සමඟ වැඩකරලා දුෂණ කමිටුවේ සභාපති වෙලා කටයුතු කළේ අනුර කුමාර දිසානායක. චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුවේ ඇමැතිධූර දැරුවේ අනුර කුමාර දිසානායක.‘‘