යුගයේ අවශ්‍යතාව වී ඇත්තේ ‘ප්‍රකාශිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක ප්‍රතිපත්තියක්’ බවට පරිවර්තනය කිරීම බවත් කාන්තා කේන්ද්‍රීය විෂයන් සම්බන්ධයෙන් සංකේතාත්මක දිනයන් තුළ දැවැන්ත ප්‍රකාශන දැක ගැනීමට හැකි වුවත් කියන දේ ක්‍රියාත්මක කිරීම ගැන බොහෝ අවස්ථාවල අප රටක් ලෙස දුර්වල බවත් ‘ඇයට ශක්තිය දැයට ප්‍රගතිය’ ලස්සන වචනයක් සේම ජන සමාජයේ සෑම තැනක ම මෙය ක්‍රියාවට නැංවෙන ක්‍රමවේද නීතිරීති රෙගුලාසි සකස් වීම වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ උදෙසා ජාතික කාන්තා කොමිසමක් වහා බිහි විය යු බවත් කාන්තා අයිතිය සුරක්ෂා කෙරෙන ජනාධිපති කාර්යසාධන බලකායක් අවශ්‍ය බවත් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කාන්තාවගේ සහ දරුවන්ගේ අයිතිය අනිවාර්යෙන්ම විශේෂ සදහන් වීමක් තුළ ඇතුළත් විය යුතු බවත් විපක්ෂ නායකවරා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (7) පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය මූලික කර ගෙන පැවැති උත්සවය අමතමිනි.

කාන්තාවන්ට සමාජයේ මුහුණ දීමට සිදුවන විවිධ අභියෝගයන් කතිකාවතකට සීමා නොවී දැඩි නීතිරීති උත්පාදනය තුළ කාන්තා අයිතීන් තහවුරු වන ජන සමාජයක් ගොඩ නැගිය යුතු බවත් ඉලක්ක ගත වැඩසටහනකට යොමුවීම කාලය එළඹ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ලබන වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මොහොත වන විට අපේ රට තුළ කාන්තා අයිතිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තහවුරු කිරීමට එකතු වන ලෙසත් බහුතරයක් කාන්තාවන්ට පුරුෂ කේන්ද්‍රීය සමාජය තුළ නිර්මාණය වන ගැටලු අභියෝගවලට තිරසර ස්ථාවර විසදුම් ලබා දීමට ව්‍යවස්ථාදායකය තුළ මුල පිරිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.