පිටකොටුවේ පික් පොකට් කාරයෝ මිනිස්සු පස්සෙන් පන්නනකොට ‘ඔන්න හොරෙක්, ඔන්න හොරෙක් අල්ලපියෝ කියලා කෑ ගහනවා වගේ  කෘෂිකර්ම අමාත්‍යාංශයේ මහාචාර්ය ලේකම්  දැන් චීන අශුචි, නැනෝ පෙහොර හොරකම් ගැන යූ ටියුබ් චැනල්වලට කතා කරනවා. හොරකමක් කරන්න මිනිස්සු තනතුරුවලට පත් කරලා ‘හොරකම ඉවර වුනාසල්ලි යටි මඩි ගැහුවාම, හොරකමට ලියුම් අත්සන් කරපු කෙනා ඉවත් කරනවා‘‘ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ එතකොට හොරකමත් ඉවරයි – ප්‍රශ්නෙත් ඉවරයි කියලයි.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මේ බව පැවසූවේ, රත්තොට අද පැවති පුවත්පත් සාකච්ඡාවක දී ය.

කෘෂිකර්ම ලේකම් උදිත් කේ ජයසිංහ තමයි නැනෝ පොහොර හොරකමට සම්බන්ධ ටෙන්ඩර් ක්‍රියාවලියට මුළුමනින්ම වග කියන්නට ඕන. ඔහු තමයි ටෙන්ඩර් කමිටුවේ හිටියේ. තාක්ෂණික කමිටුවට උපදෙස් දුන්නේ. හොරකම අහුවුනාම ඒක යටගහන්න මිල අඩු කරන්න කතා කරලා, සල්ලි ගෙව්වේ ඔහුගේ අනුමැතියෙන්.  ජනාධිපති ලේකම් ගේ නියෝගයෙන් හදපු බැංකු පුද්ගලික බැංකු ගිණුමකට සල්ලි දැම්මෙත් එයා තමයි. 

ඒ උදිත් කේ ජයසිංහ ම තමයි, චීන අශුචි නැවේ ගනුදෙනුවට සම්බන්ධ වුනේ. ඔහු ලේකම් තනතුරට පත් කර ගත්තේම කාබනික පොහොර කියලා චීන අශුචි ලංකාවට ගොඩබාන්න. එයා ඒ කොන්ත්‍රාත් දෙකම කළා. අශුචිවලට සල්ලි ගෙව්වා. නැනෝ පොහොරවලට සල්ලි ගෙව්වා. දැන් එයාට රස්සාව නැති වෙලා. මාධ්‍ය ඉස්සරහට ඇවිත් අඩනවා.

එයා දැන් මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියන්නේ, මෙච්චර කල් අපි කිව්ව රටේ සාගතයක් එන කතාව.

මාතලේ, මහවැලි කලාපයේ, අනුරාධපුර, නැගෙනහිර පලාතේ වගා කරලා තියෙන්නේ ගොවි බිම්වලින් 1/3 යි. ඒක ඇස් කන් තියෙන හැමෝටම පේනවා.

වගාව රැකගන්න වල් නාශක, කෘමිනාශක, දිලීර නාශක නෑ. ගොයම කහ වෙනවා. වල් වලින් කුඹුර වැහෙනවා. කුඹුරු පිදුරු වෙනවා.

මධ්‍යම පලාතේ තේ වගාවේ අස්වැන්න 35% කින් අඩුවෙලා. නැනෝ පොහොර ගැන කවි කතා කිව්වේ කෘෂිකර්ම ඇමතියි, ලේකම් මිසක් අපි නෙවෙයි.

හොරකමක් කරගත්තාට පස්සේ හොරකමට ලියුම් හදපු එකා බිල්ලට දෙන එක තමයි මේ ආණ්ඩුවේ සිරිත. මහාචාර්ය ලේකම් රටෙන් යනවා කියලා ජනමාධ්‍යයට කියනවා. මේ රටේ ලක්ෂ 30 ක් ගොවියාට කුඹුරට යන්න බැරි කරපු කට්ටිය දැන් රට පනින්න කතා කරනවා. 

නීතියක් රීතියක් තියෙන රටක නම් මහාචාර්ය ලේකම් ඊයේ කියපු කතා ටිකට අත්අඩංගුවට අරගෙන චීන අශුචි නැවේ කොමිස් ගියේ කාටද කියලා කියන්න ඕනි. 

රතන හාමුදුරුවොයි, පාදෙණිය යි දෙන්නා වොයිස් කට් දුන්නා විතරයි.  සාගතය එන තැනට වැඩ කරපු ලේකම් දැන් ගොවියොන්ට බණ කියනවා.

කෘෂි රසායනය තහනම ඉවත් කරලා මාසයකට වැඩි කාලයක් තවම එකම කාෂි රසායනයක් වත් ගේන්න බැරි වෙන පරිසරය හැදුවේ.

වල් බෙහෙත් ටික ගෙන්නුවා නම්, කුඹුරු පිදුරු වෙන්නේ නෑ.

දිලීර නාශක ටික ගෙනාවා නම්, බෝංචි ටික පුල්ලි ගහලා විසි කරන්න වෙන්නේ නෑ

කෘමි නාශක ටික තිබුණා නම් පොහොර නැතිව හැදෙන අලේ, කරල, ගහ පනුවෝ කන්නේ නෑ.

සාගතයට පාර කැපුවේ පොහොර තහනම විතරක් නෙවෙයි. හැදෙන ගහේ බේරාගන්න ඕනි බෙහෙත් ටික ගෙන්නුවේ නැති නිසයි.

රටේ සාගතයක් එන එක ගැන කියන්න මහාචාර්යවරු ඕනි නෑ.  ඔය පූර්වකථනය අපි අගෝස්තු මාසේ කලා.  දෙසැම්බර් මාසේ කන බොන දේවල් මෙහෙම ගණන් නම් පෙබරවාරි මාර්තු වෙනකොට ගන්න නැති වෙන එක අපේ ගම්වල ගොවියෝ දන්නවා.

පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය අකර්මන්‍ය කරලා, ගොවියාගේ රත්තරං බඩු ටික ඉන්දියාවට දීලා, බෝට්ටුවලින් ගේන හොර කෘෂි රසායන ගේන්න පාර කපනකොට සාගතයක් එන බව තේරුණේ නැද්ද?  ලංකා ඉතිහාසයේ පත්වෙච්ච අසාර්ථකම කෘෂිකර්ම ලේකම් මාධ්‍ය වීරයෙක් කරන්න එපා.