රටේ විදුලි බල ක්ශ්‍රේත්‍රයේ තිබෙන තත්ත්වය පිළිබඳව සැලකිල්ලකින් තොරව ඉංජිනේරුවරුන්ගේ සහ වෘත්තීය සමිතිවල මතය සහ විදුලිබලය සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල් අනුගමනය කර තිබෙන උපායමාර්ග පිළිබඳව සැලකිල්ලකින් තොරව විදුලිබල ක්ශ්‍රේත්‍රය ප්‍රතිව්‍යුහගත කීරීමට යැයි කියා අලුත් පනත් කෙටුපතක් කෙටුම්පත් කරලා අවසන් බව සමගි ජනබලවේගයේ ප්‍රධාන විධායක නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

මෙම කෙටුම්පත රටේ විදුලිබල ක්ශ්‍රේත්‍රයේ ප්‍රශ්න විසඳන පනත් කෙටුම්පතක් නොවන බවත් රටේ විදුලිබල ක්ශ්‍රේත්‍රය තවදුරටත් අර්බුදවලට රැගෙනයන පනත් කෙටුම්පතක් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික විදුලිබල පද්ධතිය කුඩා කොටස්වලට වෙන්කර එම කොටස් වෙළඳපොලේ විකිණීම සඳහා අවශ්‍ය වතාවරණය මෙම කෙටුම්පත හරහා සකස්කර ගැනීම සිදුකර ඇති බවත් මෙම පනත් කෙටුම්පත පිළිබඳව මහජනතාවට කරුණු ඉදිරිපත් කර පනතේ තිබෙන වගන්තිවලින් ලංකාවේ විදුලි අර්බුදය විසඳන්නේ කෙසේදැයි බලශක්ති ඇමැතිවරයා වහාම පැවැසිය යුතු බවත් අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (05) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එම මාධ්‍ය හමුවේදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය.

‘‘විදුලි බිල සම්බන්ධයෙන් ඇතිවෙලා තිබෙන අර්බුදය සමාජයේ විශාල ගැටලුවක් බවට පත්වෙලා තිබෙනවා. රටේ විදුලි බල ක්ශ්‍රේත්‍රය පිළිබඳ වගකීම දරපු ඇමැතිවරයෙක් විදිහට පැහැදිලිව කියන්න පුලුවන් රටේ විදුලි බල ක්ශ්‍රේත්‍රය පිළිබඳ තිබෙන වැදගත්ම සහ බරපතලම අර්බුදය රටේ විදුලි බල අවශ්‍යතාවය තරම් විදුලිය ජනනය කිරීමට තිබෙන බලාගාරවල හිඟකම. විදුලිය බෙදාහැරීම සහ විදුලිය පරිපාලනය පිළිබඳ ගැටලු තිබෙනවා. නමුත් අපිට ඒ ගැටලු විසඳාගැනීමට හැකි කාරණා.

විදුලි බල ක්ශ්‍රේත්‍රයේ තිබෙන ඇත්ත තත්ත්වය පිළිබඳව සැලකිල්ලකින් තොරව හිතුවක්කාර විදිහට විදුලිබල ක්ශ්‍රේත්‍රයේ ඉංජිනේරුවරුන්ගේ සහ වෘත්තීය සමිතිවල මතය සහ විදුලිබලය සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල් අනුගමනය කරලා තිබෙන උපායමාර්ග පිළිබදව සැලකිල්ලකින් තොරව විදුලිබල ක්ශ්‍රේත්‍රය ප්‍රතිව්‍යුහගත කීරීමට යැයි කියා අලුත් පනත් කෙටුපතක් කෙටුම්පත් කරලා අවසන්. මේ කෙටුම්පත රටේ විදුලිබල ක්ශ්‍රේත්‍රයේ ප්‍රශ්න විසඳන පනත් කෙටුම්පතක් නෙවෙයි. රටේ විදුලිබල ක්ශ්‍රේත්‍රය තවදුරටත් අර්බුදවලට අරගෙන යන පනත් කෙටුම්පතක්.

ජාතික විදුලිබල පද්ධතිය කුඩා කොටස්වලට වෙන්කරලා ඒ කොටස් වෙළඳපොලේ විකිණීම සඳහා අවශ්‍ය වන වතාවරණය සකස්කර ගැනීමයි. මේ පනතේ ආකෘතිය හරහා දැනට කටයුතු හොඳින් කෙරෙන ආයතන කොටස් වෙනවා. රටේ විදුලි බල මණ්ඩලය ගැන තිබෙන විවේඡනවලට විසඳුම පනතේ ඉදිරිපත් කරලා නෑ. විදුලිය ජනනය පිළිබඳව පනතේ ඉදිරිපත් කරලා නෑ. විදුලිය ජනනය කිරීමේ බලාගාරවල ප්‍රමාදය ගැන විසදුම් පනතේ නෑ. අධික විදුලිමිල ගෘහස්ථ පාරිභෝගිකයන්ට මෙන්න කර්මාන්තකරුවන්ට විශාල ප්‍රශ්නයක්. විදුලිබිල අඩුකිරිම සඳහා වු උපායමාර්ග අලුත් පනත් කෙටුම්පතේ නෑ. විදුලි බිල සංශෝධනයට උපායමාර්ග මේ පනත් කෙටුම්පනතේ නැත්නම් මේ පනත ගේන්නේ කුමක් සඳහාද?.

බලශක්ති ඇමැතිවරයාට වගකීමක් තිබෙනවා මේ පනත් කෙටුම්පත ගැන මහජනතාවට කරුණු ඉදිරිපත් කරලා මේ පනතේ තිබෙන වගන්ති වලන් ලංකාවේ විදුලි අර්බුදය විසඳන්නේ කොහොමද කියල ඇමැතිවරයා පැවසිය යුතුයි. ලංකා විදුලිබල මණ්ඩලය කුඩා අයතනවලට වෙන් කරා කියලා එම ආයතනයේ සේවකයෝ අඩු වෙන්නේ නෑ. දැනට සිටින සේවක පිරිස අවශ්‍යතාවයට වඩා වැඩියි කියලා කිසිම විගණනයක් සිදුකරලා නෑ. මෙවැනි කාරණා හරහා වෙන්නේ ලංකාව ලෝකයේ පසුගාමී විදුලි සැපයුම් තිබෙන රටවල් අතරට එකුතු වීම පමණයි.

ලංකාවේ තිබෙන විදුලි සැපයුම් පද්ධය ලෝකයේ තිබෙන හොදම විදුලි සැපයුම් පද්ධතියෙ නෙවෙයි. නමුත් විදුලිය ජනනය කිරීමේ ගැටලුම විසඳා ගත්තොත් පැය 24 ම විදුලිය සැපයීමේ ශක්තිමත් විදුලි පද්ධතියක් නිර්මාණය කර ගන්න පුලුවන්. වැස්ස නැති කාලයට විදුලිය කපන්න සිදුවෙන්නේ මෙගාවොට් 300 ක 400 ක වෙනසක් නිසා. ඒ වෙනස සඳහා බලාගාර ඉදිකරනවා වෙනුවට මේ සිදුකරන්න යන ක්‍රියාවලින්යෙන් රටේ පුරවැසියන්ගේ බදුමුදලින් ඉදිකළ රටේ විදුලි පද්ධතිය බිඳවැටෙනවා.

ලංකාවේ විදුලිබල පද්ධතිය ගොඩනගන්න රටේ පුරවැසියෝ ශතවර්ශයක සිට දායකත්වය ලබාදීලා තිබෙනවා. ඒ දායකත්වයෙන් හදපු විදුලි බල පද්ධතිය විනාශ කිරීම යන පනත් කෙටුම්පතක් තමයි රජය ගේන්න සූදානම් වෙන්නේ. පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයට කෙටුම්පත් කරපු මේ පනත් කෙටුම්පත අදත් රහසිගතව තියාගෙන ඉන්නවා. රටේ පුරවැසියන්ට මේ පනත් කෙටුම්පත තවම ඉදිරිපත් කරලා නෑ.

රටේ විදුලි බල පද්ධතිය ශක්තිමත් කරන්න සූර්ය බලය / සුළං බලය වැනි පුනර්ජනනීය විදුලි පද්ධති ජාතික විදුලිබල පද්ධතියට එකතු කළ යුතුයි. කෘෂිකර්මාන්තයට ජලය ඉඩම් නැති අවස්ථාවේ අවුරුදු 30 ක මහවැලි සැලැස්ම අවුරුදු 7 කින් අවසන් කරන්න ජේ ආර් ජයවර්ධන කටයුතු කළා වගේ රටේ විදුලි බල පද්ධයේ ගැටලු විසදන්න කෙටි කාලීන් දැවැන්ත වැඩපිළිවලක් පුනර්ජනනීය බලශක්තිය හරහා ඇති කළ යුතුයි.

උද්ධමනය පාලනය කරන්න පොලි අනුපාත වැඩිකරලා ආර්ථිකය උවමනාවෙන්ම පුංචි කළා. මිනිස්සුන්ගේ ආදායම අඩුවුණා. දැන් රටේ නිෂ්පාදන ආර්ථිකය සේවා ආර්ථිකය බිමට වැටිලා. වැට් බද්දත් අධික ලෙස වැඩි කිරීමෙන් සෑම පාරිභෝජන භාණ්ඩයක මිල වැඩිවෙනවා.මිල වැඩි වුණාම ඉල්ලුම අඩුවෙනවා.ඉල්ලුම අඩුවුණාම නිෂ්පාදනය අඩුවෙනවා. නිෂ්පාදනය අඩුවුණාම කර්මාන්තශාලා වහලා දානවා. ජනතාව සූරා කන ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සමගි ජනබලවේගයේ විරෝධය පළකර සිටිනවා. සමගි ජනබලවේග රජයක් යටතේ සාධාරණ බදු පැනවීමක් කරන්න කටයුතු කරනවා.


ප්‍රශ්නය – සීනි බද්ද වැඩි කළා , බද්ද වැඩි කරන්න ඉස්සල්ලා සීනි ලංකාවට ගෙනල්ලා කියලා වෘත්තිය සමිති කියනවා. වෙළඳපොලේ සීනි කිලෝවක් 320 ක් වගේ වෙනවා. පාලන මිලකුත් දාලා තියෙන්නේ. නමුත් ක්‍රියාත්මක නෑ .

පිළිතුර – සීනි බද්ද වැඩි කරනවා කියලා ලංකාවට සීනි ගේන ආනයනකරුවා දැනගෙන හිටියා..ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරපු කෙනා තමයි පුද්ගලයා. සීනි මෙට්ට්‍රික් ටොන් 18,000 ක් බදු පැනවීමට පෙර ලංකාවට ගෙනාවා. ලංකාවට අවශ්‍ය සීනි ගෙනාවට පස්සේ තමයි මේ බද්ද පනවන්නේ. ගෝඨාභයගේ පාලන කාලයේ සිදුවුණ දේම රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය තුළත් සිදුවෙනවා. මේක නොදැන කරපු දෙයක් නෙවෙයි. ලංකාවට වැඩියෙන්ම සීනි ගේන ව්‍යාපාරිකයා වික්‍රමසිංහ මහත්තයාවත් අල්ල ගත්තා. ලංකාවට අවශ්‍ය සීනි ප්‍රමාණය ගෙනාවට පස්සේ බදු පනවලා අලුත් බද්දට අනුව සීනි මිල නියම කළා. පාලන මිල ක්‍රියාත්මක වෙන්නේ නෑ. සියඹලාපිටිය ඇමැතිවරයා කිව්වට සීනිවලට පාලන මිලක් දානවා කියලා වෙළඳපොලේ අධික මිලකට සීනි අලෙවි වෙනවා. අලුත් බද්දේ වාසිය ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ සීනි වංචාව සිදුකළ පුද්ගලයාටම තමයි. පරණ හොර ටික තාම ඉන්නවා. අරගලයෙන් හොරු පන්නා දැම්මා කිව්වට එදා හිටපු හොරු ටික එදා වගේම අද රට සූරාගෙන කනවා. සීනි පාලන මිල විහිලුවක් වෙලා. දුෂකයන්ට උදව් කරන ආණ්ඩුව වහාම ඉවත්ව යා යුතුයි. රටේ මිනිස්සුන්ට සීනි අවශ්‍යයි. සීනි හිඟයක් ඇතිකරලා කලු කඩමිලට සීනි මිලදී ගන්න තමයි රටේ අහිංසක ජනතාවට සිද්ද වෙන්නේ. රටේ මත්ද්‍රව්‍ය පාලනය කරන්න බැරිනම් සීනි පාලනය කරන්නේ කොහොමද?

ප්‍රශ්නය – පොලිසිය භාර ඇමැතිවරයා පොලිස් නිලධාරීන් කැඳවලා කියනවා. හොරකන් මිනිමැරුම් වළක්වන්න කටයුතු කරන්න ඕන කියලා.

පිළිතුර – රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා ටිරාන් අලස් පොලිසිය භාර ඇමැති වෙලා දැන් අවුරුදු එක හමාරක්. ඒ කාලය තුළ අල්ලපු නැති පාතලය දැන් මර්දනය කරයිද. ඒ කාලය තුළ අල්ලපු නැති කුඩු දැන් අල්ලයිද. එදා අල්ලපු නැති අපරාධකරුවන් දැන් අල්ලයිද. පොලිස්පති වෙන්න සිහින දකින් නියෝජ්‍ය පොලිස්පති කියනවා ඔහුට පොලිස්පතිකම දුන්නොත් මාස 6 කින් විසදුම් ලබාදෙනවා කියලා. පොලිස්මතිම වෙන්න ඕනද රටේ අපරාධ මඩින්න. ඔවුන් තනතුරු විහිලුවට ලක් කරනවා.

ප්‍රශ්නය – ජනාධිපතිවරණක් තිබුණොත් සමගි ජනබලවේගයට ශක්තිය තියෙනවද ජනාධිපතිවරණය ජයග්‍රහනය කරන්න.

පිළිතුර – අනිවාර්යෙන්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනිවාර්යෙන් සියයට 50 ක වැඩි ඡන්ද ප්‍රමාණයක් අරගෙන ජනාධිපතිවරණය ජය ගන්නවා. රටේ සෑම කෙනෙකුගේම ඡන්දය ගන්න පුලුවන් ශක්තිය සජිත් ප්‍රේමදාසට තිබෙනවා. රට පුරා ක්‍රියාත්මක ශක්තිමත් සන්විධාන ජාලයක් තිබෙන්නේ සමගි ජනබලවේගයට. සජිත් ප්‍රේමදාස සමඟ තරග කරන්න කිසිදු අපේක්ෂකයෙක් නෑ. පාර්ලිමේන්තු මැතිවරණයකදී සමගි ජනබලවේගයේ පුලුල් සංධානයක් හරහා බලය ලබා ගන්න හැකියාව තිබෙනවා. මොන මැතිවරණයක් ආවත් ජයගන්න සමගි ජන බලවේගයට ශක්තිය තිබෙනවා