හොරුන්, මිනීමරුවන් සමග එක්ව රට හැදීමට ලෝකයෙන් උදව් නොලැබෙන බවත්, ඒ නිසා වහාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වී ගෙදර ගොස්, මේ රට හැදීමට අවස්ථාව ලබාදිය යුතු බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.

ගෝඨාභය රාජපක්ෂ ජනතාව එන්න කියලා කිව්වම ආවා කිව්වා. දැන් ජනතාව යන්න කියලා කියනවා. එහෙනම් යන්න කියනකොට යන්න.

20 වැනි සංශෝධනය සම්මත කරගත්තේ අපේ පැත්තේ අයත් එකතු කරගෙනයි. දැන් පැත්තක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියලා කියනවා. අහක ඉන්න නයි දාගත්තේ අපිද? ගෝඨාභය අරගෙන ආවේ අපිද? ඒත් අපි එකතුවෙලා මේ ප්‍රශ්ණය විසදා ගන්න ඕන.

ඒකට අපි යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. විසි වැනි සංශෝධනය අහෝසි කරලා 19 වැනි සංශෝධනයට නැවත එන්න. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ජනතාව පාරේ ඉල්ලන ඉල්ලීම තමයි, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නඩයම ගත්ත දේවල් දීලා පල කියන එකයි. ඒකෙන් මෙහා විසදුමක් නෑ. හැබැයි හදන සර්ව පාක්ෂික හෝ කවර ආණ්ඩුවක ඇමැති තනතුරු ගන්න නෙමෙයි, සාධනීය පියවර ගන්න දෙන්න පුලුවන් සහාය දෙනවා.

මහ බැංකු අධිපතිවරයා පත් කිරීමට සහාය දීලා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න සහාය දීලා මේ රට වැටුණ තැනින් ගොඩ ගන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අපි කණ්ඩායම බලාගෙන ඉන්නවා. එහෙම නැතිව අපිට ආණ්ඩු ගන්න, අගමැතිකම් ගන්න උවමනාවට නාඩගම් නටන්න ඉඩ දෙන්නේ නෑ.

අපි අද ලේ එපා කියලා ගහගෙන එනවා. ලේ එපා කියලා තමයි ජනතාව කියන්නේ. අපි මාර්ත- 15 වැනිදා ජනතාව කොළඹට අරගෙන ආවේ ගෝ හෝම් ගෝඨා කියලා. ලේ හලන්න නෙමෙයි අපි ජනතාව කොළඹට අරගෙන ආවේ.

ජනතාව පාරට බැස්සේ ලේ හොලවන්න නෙමෙයි. සිංදු කියන, කවි ලියන, සාහිත්‍ය කතා කරන අමුතුම පන්නේ විරෝධතාවයක් ගොඩ නැගුනා. අවිහිසංවාදී විරෝධතාවයක් ගොඩ නැගුණා. මිරිහානේදී බස් ගිනි තිබ්බා වගේම වගේ, කෑගල්ලේදී ත්‍රීරෝද ර්ථය ගිනි තියපු කෙනාත් වීඩියෝ කරලා තිබුණා. ත්‍රීරෝද රථය ගිනි තියන හැටි ගැන වීඩියෝ කරලා තිබුණේ, වෙඩි වැදී මිය ගිය සහෝදරයාගේ යාළුවෙක්. ඔහු පොලීසියට අරගෙන ගිහින් ගහලා, පොලිස් ජීප් එකේ දාගෙන ගිහින් ෆොන් එක අරගෙන, ගහලා නැවත දාලා ගිහින් තියෙනවා. ඒ පුද්ගලයා අත්අඩංගුවට ගත්ත වීඩියෝ එක අපි සතුව තිබෙනවා.

මෙතැනදී තරුණායාට වෙඩි තියන්නේ බවුසරය ගිනි තියන්න ගිහින් නෙමෙයි. අතුරු පාරකදී තමයි වෙඩි තියන්නේ. අර ආයුද අරගන්න ගියාම වෙඩි තියන සිද්ධි නිර්මාණය කරනවා වගේ මේ සිද්ධියත් නිර්මාණය කරලා තියෙනවා. මේ පුද්ගලයා මරා දැමීම පිටුපස පැහැදිළි ඝාතනයක අවශ්‍යතාවය තියෙනවා.

අහිංසක පුද්ගලයින් මරන්න නියෝග දෙන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න. වීරකැටියේ ගම. මේජර් නෙවිල්ගේ ඥාතියා. ආණ්ඩුවේ සහායෙන් තමයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරකට පත් වෙන්නේ.

මේ නිලධාරියා බීමත්ව සිටිමින් තමයි වෙඩි තියන්න නියෝග කරලා තියෙන්නේ. රබර් බුලට්වලින් දණහිසෙන් පහළට වෙඩි තියන්න කියන එක කිව්වාද?

මේ මිනිස්සු පාරට බැස්සේ තෙල් ඉල්ලලා. තෙල් ඉල්ලපු මිනිස්සුන්ට තෙල් බවුසරයක් ආවම සතුටු හිතෙනවා මිසක් ඒකට ගිනි තියනවාද? බඩගින්නේ ඉන්න දරුවන් වෙනුවෙන් පාරට බැහැපු තාත්තලාට වෙඩි තියලා ඉවර කරන්නද හදන්නේ

පොලීසිය භාර ඇමැතිවරයාත්, මිනීමරු ගෝඨාභය රාජපක්ෂත්, පොලිස්පතිවරයාත් ඉල්ලා අස්වීමෙන් තොරව මේක නතර කරන්න බෑ.

මේ අරගලය කොල්ලන්ගේ කානිවල් එක්ක කියලා සමහරු කියනවා. මේ අරගලය නිසා තමයි අලුතින් කැබිනට් මණ්ඩලයක් පත් කළේ. මේ අරගලය නිසා තමයි අලුතින් මුදල් මණ්ඩලයක් පත් කිරීමට සිදුවුනේ. මේ අරගලය ලැබූ ජයග්‍රහණ තියෙනවා.

මේ අරගලය නිසා තමයි 20 වැනි සංශෝධණය වෙනුවට නැවත 19 වැනි සංශෝධනයට යන්න ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් සිදුව තිබෙන්නේ.

අපි ලේ වගුරන අරගලවලට සහාය දෙන්නේ නෑ. අවිහිංසාවාදී අරගවලට තමයි අපි සහාය දෙන්නේ. ජනතාවට පීඩාවට පත් කරන්නේ නැතිව, පීඩක ආන්ඩුවට එරෙහිව අපි එකතු වෙන්න ඕන.

හිට්ලර් වගේ ජනාධිපතිකෙනෙක් ඕන කියලා හාමුදුරුවෝ කෙනෙක් කිව්වානේ. දැන් ඕනන හිට්ලර් ඇවිත් තියෙනවා. හිට්ලර් කරපු විදියටම මිනී මැරුම් කරලා තියෙනවා. මේ ධර්මද්වීපයට ඕන හිට්ලර් ඇවිත් නැවත මිනී මරන්නද? මේ වගේ චීවරධාරීන් කරපු කතා ගැන අපිටත් ලැජ්ජයි.

මිනිස්සු 269ක් මරලා, මේ රට අමු කනත්තක් කරලා ඇවිත් අපි මිනී මතින් දේශපාලනය කරන්න හදනවා කියනවා. අමු අමුවේ පල්ලිවල මිනිස්සු මරලා ඇවිත්, මේ රටේ ඡන්දය ගත්තේ කවුද? හෙට පාස්කු එනවා. ඒ සාපය ගැන අපි එදා කතා කළා. පාස්කුවේ සාපය, ලසන්තලා මරපුඑකේ, රොෂේන් චානකලා මරපු එකේ සාපය තමයි මේ ඇවිත් තියෙන්නේ

මේවාට පාවිච්චි කරපු වී 8 ජීප් එක, රජයේ නඩු භාණ්ඩුයක් කළුබෝවිල විශේෂ කාර්ය බලකාය කදවුරට ඇතුළත් කරල තියෙනා. එතැනින් පස්සේ සරත් වීරසේකරට බැකප් එකක් විදියට ලැබෙනවා. එතැනින් පස්සේ පොලිස් ඉස්පිරිතාලේ ඉන්න සරත් වීරසේකරගේ පුතා තමයි වැඩියෙන් පැද්දේ. ලැජජ නැද්ද ඒක

ඊබ්‍රහිම් පාවිච්චි කළ වී 8 පදින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක්. සාක්ෂි ඇතිව කියන්නේ. ඒත් නම කියන්නේ නෑ.

රඹුක්කන වෙඩි තැබීම කරන්න නියෝගය දුන්නේ, මහනුවර පැත්තේ අලුතින් පත්වුන ඇමැතිවරයෙක්. ප්‍රවාහන භාර ඇමැතිවරයා කරන්න දෙයක් කරන්න, කිව්වම, සර් මම බලාගන්නවානම් කරන්නම් කියලා කිව්වම බීමතින් තමයි මේ නියෝග දීලා තියෙන්නේ.

මේවා නිසා කනක හේරත්ලාට ගමට යන්න බැරිවෙලා.

අද ගාල්ලේ පැවති උද්ඝෝෂණවලට කොළඹින් බස්වල පුරවලා කට්ටිය යවනවා. ඒ එතැන අර්බුදයක් හදලා, විරෝධතාවල යෙදෙන අහිංසක මිනිස්සු අත්අඩංගුවට අරගෙන මර්දනය කරන්නයි.

මේ අරගලය සාමකාමීයි. ආයුද අතට ගන්නේ නෑ. ගල් මුල් අතට ගන්නේ නැති අරගලයක්. මේක ගිටාර්, වයලින් අතට ගන්න අරගලයක්. මේ තරුණයින් තවත් ධෛර්යසම්පන්න වෙනවා.
හෙට දවසේදී මේ වගේ නිහීන කොන්ද පන නැති වැඩ කරන්න එපා කියලා ගෝඨාභය රාජපක්ෂට කියනවා. දැන්වත් ඉල්ලා අස්වෙලා ගෙදර ගිහින් මේ රට හදන වැඩපිළිවෙලට සහාය දෙන්න.

ගෝඨාභය මුලින්ම ගෙදර යන්න. ඊට පස්සේ රට හදමු. හොරුත් එක්ක, මිනීමරුවොත් එක්ක රට හදන්න ලෝකයෙන් උදව් ලැබෙන්නේ නෑ. ඒ නිසා වහාම ඉල්ලා අස්වෙලා ගෙදර යන්න