මෙතෙක් කල් මේ රටේ ප්‍රතිපත්ති සංවිධානය වූයේ ඇමතිවරුන්ගේ, සංවිධායකවරුන්ගේ, ප්‍රභූවරුන්ගේ අනුදැනුම ඇතිව බවත් ඔවුන් අගනුවර වායුසමීකරණය කරන ලද මාලිගාවල සිට ගම්වලට අදාලව ප්‍රතිපත්ති සංවිධානය කළ බවත් එම ප්‍රතිපත්ති ඉහළින් පහළට ගලා ගෙන ආ නමුත් සමගි ජන බලවේගයේ සිය ප්‍රතිපත්ති සංවිධානය කරන්නේ බිම් මට්ටමෙන්, ගම් මට්ටමෙන්, නගර මට්ටමෙන් පොදුජනතාවගේ අදහස්වලින් පෝෂණය වීමෙන් බවත් එය පහළ සිට ඉහළට ගලා යන ක්‍රමවේදයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (10) දැදිගම පැවැති ජන පවුර වැඩසටහන අමතමිනි.

ගෘහයේ කාන්තාව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ජීවනාලිය කරනවා

රට බංකොලොත් වී කඩා වැටී ඇති මොහොතක ජනතාවගේ ජීවනෝපායන් විනාශව වී ඇති මොහොතක නිවසට එන මුදල් කප්පාදු වී ඇති මොහොතක ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමේ හොඳම වැඩපිළිවෙළ විමසා සිටින බවත් ඒ සඳහා යොදා ගත හැක්කේ ගෘහයේ සිටින කාන්තාව ගෘහයේ සිටින දූදරුවන්ගේ රැකවරණයට ආරක්ෂාවට හානියක් නොවන ආකාරයට සුදුසු පුහුණුවක් හා දැනුමක් ලබා දීම තුළ කාන්තාවන් ආදායම් උත්පාදනය කිරීමේ නිෂ්පාදනය වැඩි කිරීමේ ක්‍රියාමාර්ගයට දායක කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෑම ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයක් කේන්ද්‍ර කර ගෙන කාන්තා සංවර්ධන මධ්‍යස්ථාන දියුණු කර ගෘහනියට අවශ්‍ය දැනුම, තාක්ෂණය ලබා දී ගෘහයේ ආර්ථිකය වැඩි දියුණු කර රටේ ආර්ථිකය සඳහා කාන්තාවගේ දායකත්වය ප්‍රවර්ධනය කිරිමටත් සමගි ජන බලවේගය සැලසුම් කර ඇති බවත් ඒ තුළින් 33%ක් වූ ශ්‍රම බලකායේ දායකත්වය 45%කට වඩා වැඩි කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටක් දියුණු වනවා නම් ශ්‍රම බලකාය සඳහා කාන්තා සහභාගීත්වය ඉහළ බැවින් කාන්තාව දැනුමින් කුසලතාවෙන් සවිබල ගන්වා ඔවුන් ආර්ථික වර්ධන ක්‍රියාවලියේ පෙරමගකරුවන් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

අලුත් පරපුර වෙනුවෙන් නව ව්‍යාපාර අවස්ථා මිලියනයක්

රට පුරා අලුත් පරපුරවල් ගොඩනැගෙමින් සිටින බවත් දැනුමින් බුද්ධියෙන් ඥානයෙන් යුත් යෞවන මධ්‍යම පංතියක් නිර්මාණය වන බවත් ඔවුන් දේශපාලනඥයන්ගේ රැකියා බැංකුවලින් රැකියා අපේක්ෂා නොකරන බවත් ඔවුන්ගේ එකම අපේක්ෂාව සමාජ ආර්ථික ප්‍රගතිය කියන ඉනිමගේ ඉහළටම යාම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දළ දේශීය නිෂ්පාදිතයට 50%ක දායකත්වයක් ලබා දෙන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් බැවින් නව ව්‍යාපාර මිලියනයක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් ඒ තුළින් ආර්ථික වර්ධනය වී මුදල් සංසරනය වැඩි වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රටේ දරුවෝ ඉහළට ඉගෙන ගන්නවට සමහර නායකයෝ ඊර්ෂියා කරනවා

නායකයෝ කියන සමහර අයගේ දරුවන් යන්නේ පෞද්ගලික පාසල් හා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට බවත් ඔවුන්ගේ දරුවන් එසේ ගියත් රටේ ලක්ෂ 42ක් පාසල් දූදරුවන් යන්නේ රජයේ පාසල්වලට බවත් මෙම ලක්ෂ 42 දූදරුවන් නව තාක්ෂණයෙන් ඉගෙන ගන්නවාට සමහර නායකයෝ ඊර්ෂයා කරන නිසා සජිත් දන්නේ බෙදන්න විතරයි යැයි චෝදනා කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් රැසක්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගනිමින් සමගි ජන බලවේගය හා එක්වීම ද දැකිය හැකිය.