සොරා කන ලද මුදල් නැවත අයකර ගැනීම සඳහා බිහිකරන කළමනාකරණ අධිකාරිය ශක්තිමත් කොට මෙතෙක් හොරකම් කරන ලද සියලු මුදල් නැවත ගැනීමට කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා,මුදල් විශුද්ධිකරණ පනත ද නවීකරණය කොට ශක්තිමත් කරන බව පැවසීය.ජාත්‍යන්තර මූල්‍ය සම්පාදන පිළිබඳව බුද්ධිමය දැනුම ඇති ආයතන සම්බන්ධ කරගෙන මූල්‍ය වංචා කරුවන් හඳුනාගැනීමේ කටයුත්ත සිදු කරන බවද ඒ මහතා පැවසීය.

අද දිනයේ හැත්තෑ පස්වන නිදහස සමරන ලැබුවද එය සමරන්නට සිදුව ඇත්තේ බංකොලොත් වූ,කඩාවැටුණු රටක බව පැවසූ විපක්ෂ නායකතුමා රටේ ජනතාව දරාගත නොහැකි ආර්ථික පීඩනයකින් සිටින බවද පැවසීය.

කුස ගින්නෙන් දැවෙන ජනතාව, අපේක්ෂා භංග වූ තරුණ පරපුර,අධ්‍යාපනය අහිමි වූ දූ දරුවන් ඇතුළු දහසකුත් එකක් ක්ශේත්‍ර බරපතල ව්‍යසනයකට මැදිව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා,මේ තත්ත්වය වෙනස් කොට රට ගොඩනගන නව නිදහස් අරගලය එළබෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු ආරම්භ කරන බවත් පැවසීය.

එදා ජාති ආගම් කුල මල පක්ෂ භේදයකින් තොරව මේ රටට නිදහස ලබාගැනීමට ඇප කැප වූ බව සිහිපත් කළ විපක්ෂ නායකතුමා ඔවුන්ට සිය ප්‍රණාමය පුද කරන බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද ගාල්ල දිස්ත්රික්කයේ හිනිඳුම ආසන බල මණ්ඩලයේ පැවති රැස්වීමක් අමතමිනි.