විදුලි ගාස්තු සංශෝධන‍ය කිරීම සම්බන්ධයෙන් කිසිඳු යෝජනාවක්  මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත බාර දී නොමැති බව  එම කොමිසම අද (08) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙම නිවේදනය සිදුකර තිබෙන්නේ විදුලි ගාස්තු සංශෝධන‍ය කිරීමට රජයේ සුදානමක් ඇති බවට විවිධ මාධ්‍ය වාර්තා කර තිබූ අසත්‍ය ප්‍රවෘත්ති වලට පිළිතුරු ලෙසයි.

රජයට හිතවාදී විවිධ මාධ්‍ය අද වාර්තා කර තිබුනේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඇතුළු ලංකා විදුලි බල මණ්ඩලයේ බලධාරීන් කිහිපදෙනෙකුට අත්තනෝමතික ලෙස බිල වැඩිකිරීමට එරෙහිව නඩු පවරා තිබෙන්නේ විදුලි ගාස්තු සංශෝධන‍ය කර විදුලි බිල අඩුකිරීමට රජය විසින් කටයුතු කරමින් තිබෙන අවස්ථාවක බවයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ ඇතැම් මාධ්‍ය විසින් එවැනි යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාරදී ඇති බවට වාර්තා කර තිබුණද අද (08) දක්වා එවැනි යෝජනාවක් තම කොමිසම වෙත ලැබී නොමැති බවය.

කෙසේවෙතත් විදුලි බල මණ්ඩලය පසුගිය මාස කිහිපය තුළ රුපියල් බිලියන 52ක විශාල ලාභයක් ලබා ගෙන ඇති මොහොතක එම ලාභය රටේ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ලබා නොදීමත් අධික ලෙස විදුලි බිල වැඩි කිරීම නිසා එම විදුලි බිල ගෙවා ගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 8කගේ විදුලිය කපා දැමීම තුළින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (8) දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.