විදුලි බිල අඩු කළ බව පවසමින් ජනතාව මුලාවට පත්කර ඇති බව සමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටිනවා.

2023 වසර තුළ පමණක් 80% න් විදුලි බිල වැඩිකර ඇතැයිද පැවැසූ ආනන්ද පාලිත මහතා පෙන්වා දෙන්නේ එක් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැයවන්නේ රු. 2.80 පමණක් බවයි. එසේ වුවද අවම මිලට සාපේක්‍ෂව විදුලි ගාස්තුව 300 % න් පමණ ඉහළ දැමීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළා.

පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභාව විශේෂ නියෝගයක් ලබාදුන්නා. ඔක්තොම්බර් මාසයේ වැඩිකළ 18 % ක විදුලි ගාස්තුව අඩුකර, එතැන් සිට තවත් 20 % න් විදුලි බිල අඩුකරන ලෙස තමයි එම නියෝගය ලබාදීල තියෙන්නේ. කෙසේ වෙතත් විදුලි ඇමැතිවරයා සහ මහජන උපයෝගීතා කොමිසම මෙම නියෝග ක්‍රියාත්මක නොකර රට මුලා කිරීමට උත්සාහ කරනවා.

ඔක්තොම්බර් මාසයේ 18 % ක වැඩිකළ විදුලි ගාස්තුව අඩු නොකර 20 % න් පමණක් විදුලි ගාස්තු අඩු කිරිමක් සිදුකර මහජන උපයෝගීතා කොමිෂම හා විදුලි ඇමැතිවරයා අත්තනෝමතික සහ නිවැරදි නියෝග පිළිනොපදිමින් කටයුතු කර ඇති බව ද ආනන්ද පාලිත මහතා අවධාරණය කළා.

ඒ සම්බන්ධයෙන් ඔහු කරුණු පැහැදිලි කළේ මෙලෙසයි,

මේ අයට 20 % න් පමණක් විදුලි බිල අඩුකරල අත පිහදාගන්න බෑ. අනිවාර්යෙන් ඔක්තොම්බර් මාසයේ වැඩිකළ 18 % ක ගාස්තුව අඩුකර, ඊට පස්සේ තවත් 20 % න් විදුලි බිල අඩු කළ යුතුමයි. ඒත් එය අද නොවේ හෙට වගේ, බාලගිරි දෝෂයට සමාන වෙලා. විදුලි බල ඇමැතියි, මහජන උපයෝගිතා කොමිසමයි වටේ ඉන්න හැමෝමයි මේ කරන්නේ ගසා කන එක. නීතියට සහ විදුලිබල පනතට පයින් ගසමින් මේ අය රුපියල් මිලියන 77 ක් ගසා කාල තිබෙනවා. යනුවෙන්ද ඔහු සඳහන් කළා.