වත්මන් ආණ්ඩුව පිරිස් බලයට මිනිස් සම්පතට ජන ඒකරාශියට තරුණ පරපුරේ එකතු වීමට බය බියගුලු නිවට ආණ්ඩුවක් බවත් ආරක්ෂකයෝ පිරිපරා ගෙන ආයුධ අතට අරගෙන තරුණ පරපුර නින්දිත ආකාරයට මර්දනය කරන බවත් ඔවුන් මනුෂ්‍යත්වය ජනතාවගේ බඩගින්න වේදනාව පිළිබඳ සුළු තැකීමක්වත් නොකරන බවත් ඔවුන්ට හිංසනය රාජ්‍ය මිලේච්ඡත්වය එදා සිට හුරු පුරුදු බවත් මේ මිලේච්ඡත්වයට එරෙහිව නැගී සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සමගි ජන බලවේගයේ වියළුව ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් (10) විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

සමගි ජන බලවේගය රට වටේ ගොස් ආසනයක් ආසනයක් ගානේ සංවිධානය වී දශ ලක්ෂ ගණනින් නුදුරේදී කොළඹට පැමිණ ප්‍රජාතන්ත්‍රවාදය දිනවීමට බවත් පුළුවන් නම් මර්දනය දිගටම කරන ලෙසත් ඒ සඳහා වැඩි ආයුෂක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රාජ්‍ය මර්දනය, හිංසනය ජන බලයෙන් පරාජය කරන බව ද පැවසීය.

වත්මන් ආණ්ඩුව පුනරුත්ථාපන කාර්යාංශය ලෙස නව ආයතනයක් පිහිටුවා උද්ඝෝෂණය කරන තරුණ තරුණයන් අත්අංඩගුවට ගෙන පුනරුත්ථාපනය කිරීමට උත්සාහ කරන බවත් එහෙත් සැබවින්ම පුනරුත්ථාපනය විය යුත්තේ ගොවියා, ධීවරයා, තරුණයා, ළමයා විනාශ කළ රාජපක්ෂ පරපුර බවත් නමුත් රාජපක්ෂ පවුලේ අනුග්‍රහයෙන් බිහි වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ වන විට ජනතාවගේ දුක වෙනුවෙන් කතා කරන තරුණ තරුණියන් පුනරුත්ථාපනය මුවාවෙන් සිරගත කර හිංසා කිරීමට උත්සාහ ගන්නා බවත් මෙය පරාජය කිරිමට සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.