වත්මන් රජය මන්දිරවලට වී තරුණ පරපුර මර්දනය කිරීම සඳහා සැලසුම් සකස් කළත් නුදුරු අනාගතයේ දී සමගි ජන බලවේග රජයක් යටතේ එකී මන්දිර රට ගොඩනගන තාරුණ්‍යයට ශක්තියක් ලබා දෙන මධ්‍යස්ථාන 2ක් බවට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගම්පොළ දී පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා පත් වූ දින කියා සිටියේ තමාට වැල් පාලමකින් එගොඩ වීමට සිදුව ඇති බව වුවත් මේ වන විට වැල් පාලමෙන් එගොඩ වී ඇත්තේ රාජපක්ෂ පවුලේ කුමාරවරු ටික බවත් එම කුමාරවරු මේ වන විට කියා සිටින්නේ අරගලයේ සිටි තරුණ පරපුර මර්දනය කළ යුතු බව යි. ලක්ෂ 220ක් ජනතාව අසරණ වී ඇති මොහොතක රාජපක්ෂවරු සහ ඔවුන්ගේ පරම්පරාව ගොඩ වී ඇති බවත් මෙම කුමාරයාගේ උපදෙස් මත තරුණයෝ පුනතරුත්ථාපනය කිරීමට පුනරුත්ථාපන කාර්යාංශයක් ගෙන ඒමට සූදානම් බවත් ඒ සඳහා විපක්ෂයක් ලෙස විරුද්ධ බැවින් රාජපක්ෂවරුන්ගේ උපදෙස් මත ක්‍රියා නොකරන ලෙස වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොවුවහොත් ඔහුට සිදු වන්නෙත් රාජපක්ෂලාට සිදු වූ දේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රාජපක්ෂ කුමාරවරුන්ගේ කීමට අරගලයේ නිරත තරුණ පරපුර මර්දනය කරනවා වෙනුවට රාජ්‍ය හිංසනය ක්‍රියාත්මක කරනවා වෙනුවට පරිගණක විප්ලවයක් ඉංග්‍රීසි සාක්ෂරතාව, නව තාක්ෂණය ඉහළින් අවබෝධ කරවීම හරහා රටේ තරුණ පරපුර දැනුමින් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සිදු කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනවා වෙනුවට ආරක්ෂක අංශ භාවිත කර තරුණයන් මර්දනය කරනවා වෙනුවට ආදර්ශමත් ජන ජීවිතයක් උදා කිරීමට මිත්‍රත්වයේ දෑත දිගු කර තරුණ පරපුර සවිබල ගැන්විය යුතු බවත් එය සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

ජනාධිපතිගේ වැල් පාලමෙන් රාජපක්ෂවරු, රාජපක්ෂ කුමාරවරු, රාජපක්ෂ වහල්ලු එගොඩ වී මේ වන විට මැතිවරණ ක්‍රමය තමන්ට අවැසි ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කරන බවත් පළාත් පාලන වැඩපිළිවෙළ වෙනස් කිරීමට උත්සාහ කරන බවත් පළාත් සභා මන්ත්‍රීවරු 8000 බිහි කළ වත්මන් ජනාධිපතිම එය 4000ට අඩු කිරීමට උත්සාහ කරන බවත් පැවසීය.

එහෙත් එසේ මන්ත්‍රීවරු අඩු කරනවා වෙනුවට ක්‍රමය කාර්යක්ෂම කළ යුතු බවත් කාන්තා සහභාගීත්වය සියයට 25 ලබා දෙනවා වෙනුවෙට තරුණ පරපුර වෙනුවෙන් ද යම් අපේක්ෂකත්වයක් වෙන් කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සෑම දේම සිදු කරන පෙර ජනතාව ඉල්ලා සිටින ජනතා හිතකාමී, නව රජයක් බිහි කිරීමට වරම් ලබා දෙන ලෙසත් විවිධ ඇස්බැන්දුම් ක්‍රියා සිදු නොකර ඔලුගොඩි මාරු නොකර සංගීත පුටු තරග නොතියා රටේ ජනතාව ඉල්ලා සිටින නව රජයක් බිහි කිරිමට අවශ්‍ය මැතිවරණයක් පවත්වන ලෙස ද කියා සිටියේය ය.