පෞඩ ඉතිහාසයකට හා අභිමානවත් දේශයකට හිමිකම් කියූ අප රටේ ඇති ජාතික සම්පත් බහුතරයක් වත්මන් රජය විසින් විකුණා දැමීමට සූදානම් බවත් එහි එක් පියවරක් ලෙස නුදුරේදීම රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව විකුණා දැමීමට සූදානම් බවත් මේ වන විට එය කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් හා විනිවිදභාවයකින් තොරව පෞද්ගලික අංශයට බදු දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට මූල්‍ය ගැටලු තිබුණත් නව ආයෝජකයන් රාජ්‍ය මාධ්‍යයකට සම්බන්ධ කර ගැනීමට නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බවත් එම ක්‍රමවේදයෙන් බැහැරව රජයට හිතෙන හිතෙන ආකාරයට රාජ්‍ය සම්පත් විකුණා දමන සූදුවක් මේ වන විට ක්‍රියාත්මක වන බවත් පැවසූ මේ යන ආකාරයට අවසානයේ රජයේ පාසල් හා රෝහල් වුවද පෞද්ගලීකරණය කිරිමට ද මේ රජය සිදු කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ වටිනා සම්පත් විකුණා දැමීමේ මේ සුදුවට එරෙහිව නැගී සිටිය යුතු බවත් මේ සියලු දේවල් ජනතාවගේ සහ රටේ සම්පත් බවත් එම සම්පත් සමඟ වැඩ කිරීමේ දී විනිවිදභාවය හා ප්‍රසම්පාදන ක්‍රමයක් තිබිය යුතු බවත් මෙවැනි අනිතික වෙන්දේසි නැවත රජයට පවරා ගන්නා බවත් අධ්‍යාපනය හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රය පුද්ගලීකරණය කිරිමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (14) අම්පාර සමන්තුරේ මුස්ලිම මහා විද්‍යාලයට සක්වල බස් රථ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ ලක්ෂ 39කට සාමාන්‍ය ආහාර සුරක්ෂිතභාවයත් නොමැති හා දරුවන් ලක්ෂ 29කට හරියාකාර ශක්තියක් නොමැති බවට යුනිසෙෆ් සංවිධානය කිව්වත් මේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් සොයා නොමැති බවත් ජනාධිපති අගමැති ඇමතිවරු සිටියත් රටේ දුප්පතුන් ලක්ෂ 70ක් පමණ සිටින බවත් මේ වගේ රටක අන්ධකාරයක ජීවත් වන ජනතාවට නව එළියක් වීමට සමගි ජන බලවේගය සූදානම් බවත් පැවසීය.

එසේ ම ජාත්‍යන්තරයේ ඇති රටවල් තම ප්‍රතිපත්ති ලෙස තද බලය භාවිත කරන බවත් තවත් රටවල් මෘදු බලය භාවිත කරන බවත් තද බලය යනුවෙන් හදුන්වන්නේ යුධ ශක්තිය ආර්ථික ශක්තිය මුල් කර ගෙන පාලනය කිරීම බවත් එසේම ලොකු හමුදාවක් ආර්ථික බලයක් නොමැති රටවල් මෘදු බලය භාවිත කරන බවත් එහි දී සාකච්ඡා කිරීමේ දක්ෂතා, රාජ්‍යතාන්ත්‍රික දක්ෂතා හා සබඳතා උපයෝගී කර ගෙන කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මොහොත් පවා අප රට බංකොලොත් වී ඇති හෙයින් මේ අවස්ථාවේ රටට වැදගත් වන්නේ තද බලය, මෘදු බලය නොව සුහුරු බලය බවත් ඒ සඳහා පාසල් පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් පැරණි විශය නිර්දේශ නවීකරණය කර අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත වෙනසක් සිදු කළ යුතු බවත් ඉංග්‍රීසි භාෂා ක්‍රමයට පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට මුල් තැන ලබා දිය යුතු බවත් ඒ තුළින් සුහුරු බලයක් නිර්මාණය කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා පාසල් දූදරුවන්ට දිවා ආහාරය සහ නිල ඇදුම් ලබා දුන්නා සේ සමගි ජන බලවේග රජයක් තුල කුමන ගැටලුවක් තිබුණත් නැවතත් දිවා ආහාරය ලබා දීමට කටයුතු කරන බවත් ඊට අමතරව සුහුරු පරිගණකයක්, ටැබ් යන්ත්‍රයක් හෝ හිමිකර දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඒ තුළින් සුහුරු සිසුවෙක් සුහුරු තාරුණ්‍යයක් සුහුරු රටක් හා සුහුරු බලයක් රට තුල ගොඩ නගන බවත් පැවසීය.

තව ද හිටපු දේශපාලනඥයෝ අම්පාර සමන්තුරේ වැනි දිස්ත්‍රික්ක කොන් කළාට තමා ජනාධිපතිවරයා වූ පසු එවැනි දෙයක් සිදු නොවන බවත් මේ දිස්ත්‍රික්කය මෙන්ම මේ නගරයම දියුණු කිරීම තමාම මැදිහත් වී සිදු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙරට නිදහස් අධ්‍යාපනය දියුණු කිරීම උදෙසා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 75ක් මෙරට පාසල් 75කට බෙදා දුන් බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 3642ක් වැය වූ බවත් ඊට අමතරව සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 33කට රුපියල් ලක්ෂ 290ක සුහුරු පන්ති කාමර උපකරණ දුන් බවත් ඊට අමතරව හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56කට ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරණ සහ ඖෂධ දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.