සාමාන්‍යයෙන් දේශපාලන ප්‍රතිවාදියකුගේ නමක් කිසියම් ස්ථානයක තිබුණොත් අනෙක් දේශපාලනඥයන් ඒ දෙස නොබලන බවත් තමා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර කුමන දේශපාලන එදිරිවාදිකම් තිබුණත් මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයට පවා බස් රථයක් පරිත්‍යාග කිරීමට තමා කටයුතු කළේ එවැනි අමනෝඥ කුහක සිතුවිලි තමා ළඟ නොමැති නිසා බවත් තමාට වැදගත් වන්නේ මහින්ද රාජපක්ෂ කියන නමට වඩා මේ පාසලේ දූදරුවන්ගේ අනාගතය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රමයේ වෙනස ගැන ලොකු ලොකු දේශන පැවැත්වූවාට එය මහ පොළොවේ යථාර්ථයක් විය යුතු බවත් කොළඹට කිරි ගමට කැකිරි නොමැතිව හැමෝටම එක හා සමානව කිරි ඉතිරිවීමේ අරමුණින් මෙම බස් සහ සුහුරු පන්ති කාමර උපකරණ ලබා දෙන බවත් එහි දී තමාට බස් මෑන් යන අන්වර්තනාමය පටබැඳි බවත් එම අර්වර්තනාමය පටබැඳි පුද්ගලයාගේ පාසලට පවා බස් රථයක් ලබා දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 86 වැනි අදියර යටතේ අද මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ පාසලේ නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් ලබා ගැනීම සඳහා ද රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරන ලදී.

බස් බෙදන එක ඇතුළේ දේශපාලන අරමුණු නැහැ

තමා බස් බෙදන්නේ දේශපාලනය අරමුණු කර ගෙන නොවන බවත් තමා රටේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය පවා කඩකර ඇති බවත් වේදිකාවල සෝබන වචන කියමින් රසවත් කතා කිව්වට රුපියල් හා ඩොලර් හිඟයට විසදුම් නොලැබෙන බවත් අද සක්වල හා හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ තමාගේ පුද්ගලික මුදලින් නොව දෙස් විදෙස් ධානපතියන්ගේ පරිත්‍යාග මත බවත් ඒ ආකාරයටම රටේ ඩොලර් හිගය පියවන්න තමාට සාර්ථක වැඩසටහන් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරණ ජරාජීරණ දේශපාලන ගොඩට මම අයිති නැහැ

දැන් රටේ මිනිසුන් දේශපාලනඥයෝ කියන දේ පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇති බවත් එය තමාට අදාළ නොවන බවත් තමා කිසිදින පොරොන්දු කඩකර නොමැති බවත් රටේ ප්‍රථම වතාවට වෙනත් කිසිදු පක්ෂයක් නොකළ වැඩකොටසක් සමගි ජන බලවේගය රට වෙනුවෙන් ඉටු කර ඇති බවත් එම නිසා පරණ ජරාජීරණ ගොඩට තමා ඇතුළු පිරිස අයත් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 86ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4192ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 127ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1272ක් වැය කර තිබේ.