ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 අතර කාල පරාසය තුළ අනිවාර්යෙන් පැවැත්විය යුතු බව ද නව ජනාධිපතිවරයා නොවැම්බර් 17 වැනිදාට පෙර දිවුරුම් දියයුතු බව ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ මෙම වසරේ ජූලි මස අවසානයේ හෝ අගෝස්තු මස මුලදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අනිවාර්යයෙන් බැඳී සිටිය යුතු බවයි.

ජනාධිපතිවරණය නියමිත වේලාවට නොපැවැත්වුවහොත් නොවැම්බර් 18 වැනිදායින් පසුව පවතින රජය නීතියානුකූල නොවන බවද ඔහු අවධාරණය කළා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගැනීමට නොහැකි බව සිය විශ්වාසය යැයිද විධායක ජනාධිපති ධූරය අහෝසි කර මෙම ආණ්ඩුව තව වසරකට ඉදිරියට ගෙන යනවාද යන ප්‍රශ්නය මහජනතාවගෙන් සෘජුව ඇසිය යුතු බවද පැවැසුවා. ඒ මහතා පළමු වරම මෙම විනාශකාරී ආණ්ඩුව පලවා හැරීමට ජනතාව බලා සිටින බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමේ නීතිමය බලය හිමිවන්නේ මැතිවරණ කොම්ෂන් සභාවට මිස ජනාධිපති ලේකම් කාර්යාලයට නොවන බවත් ජනමත විචාරණයක ප්‍රතිඵල අභියෝගයට ලක්කිරීමට ඕනෑම පුරවැසියෙක්ට අයිතිය හිමිවන බවත් මහාචාර්යවරයා සඳහන් කළා.

එමෙන්ම ජනාධිපති ධූරය අහෝසි කිරීම සරළ ක්‍රියාදාමයක් නොවන බව ද පැවැසූ පීරිස් මහතා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ සෘජු ලෙස බැඳී පවතින බවත් රටේ මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට පෙර ජනමතය පිළිබිඹු කරන පාර්ලිමේන්තුවක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත් පැවැසුවා.

එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.