අගමැති ධූරය භාර ගැනීම උදෙසා තමන් රාජපක්ෂ වන්දනාවේ නොගිය බවත්, ගෝඨාභය රාජපක්ෂ කරනු ලද ඉල්ලීම ප්‍රකාරව ලිඛිතව සිය ප්‍රතිචාරය ප්‍රසිද්ධියේ යොමු කළ බවත්, එය සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පක්ෂවල සාමූහික දායකත්වය ඇතිව සිදු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන් විසින් ලියන ලද ලිපියෙහි කොටසක් පමණක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සත්‍ය තත්ත්ව විකෘති කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, තමන් ඇතුළු සමඟ ජන බලවේග සන්ධානය අදාල ඉල්ලීම සිදුකළේ කොන්දේසි සහිතව බව ද පැවසීය.

කොන්දේසි විරහිතව තනතුරු සහ තාන්න මාන්න භාර ගැනීමට තමන් කිසි විටෙකත් ක්‍රියා නොකළ බව පැවසූ විපක්ෂ නායකතුමා එවැනි තනතුරු උන්මාදයක් තමන්ට හෝ සමගි ජන බලවේග සන්ධානයට නොමැති බවද පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අරගලය සහ, ගෙවල් සහ දේපල ගිනි තැබූ ක්‍රියාවලිය එකක් නොව දෙකක් බව පැවසූ විපක්ෂ නායකතුමා තමන් එවැනි ත්‍රස්තවාදී ක්‍රියාවලට සහමුලින් විරුද්ධ බවත් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට කොන්දේසි විරහිතව පක්ෂ බවත් පැවසීය.