කාන්තාවගේ සුරක්ෂිතභාවය සහ සුභසිද්ධිය උදෙසා තමන් ජනාධිපතිවරණ සමයේ දී ඉදිරිපත් කරනු ලැබූ කාන්තා ප්‍රඥප්තිය අද වන විට එදාට වඩා වැදගත්කමක් ගන්නා බවත් එහි සඳහන්ව ඇති සියලු කරුණු කාරණා ඉදිරියේදී සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඒකාන්තවම ඉෂ්ට සිද්ධ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කාන්තා හිංසනයට එරෙහිව “තැඹිලිපැහැයෙන් ලොව බබලමු” මැයෙන් සමගි වනිතා බලවේගය විසින් සංවිධානය කරතිබූ වැඩසටහන ඊයේ (27) සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

ලොව ජීවත්වන කිසිවෙකුට මවකගේ රැකවරණය තරම් වෙනත් රැකවරණයක් නැති බව පැවසූ විපක්ෂ නායකතුමා එවන් කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම කාගේත් වගකීමක් බවද පැවසීය.