2020 වසරේදී සමගි ජන බලවේගයට පැහැදිලි ජන වරමක් දී තිබෙන බවත් එම ජනමතය නිසා වත්මන් විපක්ෂය නියෝජනය කරන බවත් ආණ්ඩුව ජනමතයකින් තොරව මන්ත්‍රීවරුන් එහෙ මෙහෙ කර බලය පවත්වාගෙන යන බවත් ඉත්තෝ එහෙ මෙහෙ කර මේ ගේම් එක දිනන්න බැරි බවත් නලින් බණ්ඩාර මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලය විදුලිය ජනනය කිරීමේදී ඔයිල් වලින් පමණක් ඇස්තමේන්තුගත මුදලට වඩා රුපියල් බිලියන 61 ක් ඉතිරි වෙමින් පවතින බවත් ගල් අඟුරු වලින් ඇස්තමේන්තුගත මුදලට වඩා රුපියල් බිලියන 26 ක පමණ මුදලක් ඉතිරි වෙමින් පවතින බවත් විදුලිබිල සියයට 18 කින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කළේ මෙවැනි තත්ත්වයක් මත බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.

රුපියල් බිලියන 156 ක් වන ණය ගෙවා ගැනීම සඳහා විදුලිබිල වැඩි කළ බව විදුලි බල මණ්ඩලය ඔක්තොම්බර් මාසයේ ලිපියක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

විදුලි ජනන සැලැස්මට අනුව වර්ෂාව සමඟ ලැබෙන වාසිය විදුලිබල මණ්ඩලය ජනතාවට දිය යුතු අවස්ථාවක දූෂණ වංචා වලින් සිදුවුණ අලාභයන් පියවා ගැනීම සඳහා විදුලි පාරිභෝගිකයාගේ කරමත විදුලි බිල පැටවීම සමගි ජනබලවේගය තරයේ හෙළා දකින බවත් ඊට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ග සියල්ල ගැනීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් නලින් බණ්ඩාර මහතා කීය.

නලින් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ ඊයේ (07) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා මෙසේ පැවැසීය.

‘‘වැඩිම විදුලිබිල තිබෙන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියේ සිටිනවා. විදුලි බිල දරාගැනීමට නොහැකිව රටේ මහ පරිමාණ කර්මාන්ත , කුඩා ප්‍රමාණයේ කර්මාන්ත වැහෙන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. වැඩකරන මධ්‍යමපාන්තික ජනතාව ඔවුන්ගේ විදුලි අවශ්‍යතාවයෙන් භාගයක් ඉවත් කරලා තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ඔක්තොම්බර් මාසයේ විදුලි ජනන සැලසුම සකස් කරලා තිබුණේ ඔයිල් වලින් ගිගාවොට් පැය 398 ක් ලබාගන්න. නමුත් වර්ෂාව නිසා ලබාගත්තේ ගිගාවොට් පැය 79 ක්. නොවැම්බර් මාසයේ විදුලි ජනන සැලසුම සකස් කරලා තිබුණේ ගිගාවොට් පැය 261 ක්. නමුත් ලබාගත්තේ ගිගාවොට් පැය 9.8 ක්. දෙසැම්බර් මාසයේ විදුලි ජනන සැලසුම සකස් කරලා තිබෙන්නේ ගිගාවොට් පැය 189 ක් ඇස්තමේන්තු ගත කරලා තිබෙනවා. දෙසැම්බර් මාසය ගිගාවොට් පැය 12 කින් බේර ගන්න පුලුවන්.

ඔක්තොම්බර් මාසයේ විදුලි ජනන සැලසුම සකස් කරලා තිබුණේ ගල් අගුරු වලින් ගිගාවොට් පැය 345 ක් ලබාගන්න ඇස්තමේන්තු කරලා තිබුණා. ඒ ප්‍රමාණයට ගිහින් තිබුණා. නොවැම්බර් මාසයේ ගිගාවොට් පැය 460 ක් ඇස්තමේන්තුගත කරලා තිබුණා. නමුත් ගිහින් තිබුණේ ගිගාවොට් පැය 295 ක් ගිහින් තිබුණා. දෙසැම්බර් මාසයේ ගිගාවොට් පැය 524 ක් ඇස්තමේන්තුගත කරලා තිබෙනවා. නමුත් දෙසැම්බර් මාසයේ යන්නේ ගිගාවොට් පැය 300 යි.

විදුලිබල මණ්ඩලය විදුලිය ජනනය කිරීම සඳහා ඔයිල් වලින් පමණක් ඇස්තමේන්තුගත මුදලින් රුපියල් බිලියන 61 ක් ඉතිරි වෙමින් පවතිනවා. ගල් අඟුරු වලින් ඇස්තමේන්තුගත මුදලින් රුපියල් බිලියන 26 ක පමණ ඉතිරි වෙයි කියලා හිතන්න පුලුවන්. නමුත් විදුලිබල ඇමැති සියයට 18 කින් විදුලි බිල වැඩිකළා.

විදුලි බල මණ්ඩලය ඔක්තොම්බර් මාසයේ ලිපියක් නිකුත් කරමින් සඳහන් කරලා තිබෙනවා විදුලි බල මණ්ඩලයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 156 ක් බව.
මේ ණය ප්‍රමාණය ගෙවන්න විදුලි බිල වැඩිකළා කියලා ඒ ලිපියේ සඳහන් වෙනවා. දූෂිත ගණුදෙනුවලින් සිදුවෙලා තිබෙන ණය ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ රටේ විදුලි පාරිභෝගිකයන්ට , කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයන්ට. විදුලි බල මණ්ඩලය ගොඩ දාන්න විදුලිබල ඇමැති සියයට 18 කින් විදුලි බිල වැඩි කරලා තිබෙනවා.

විදුලි බල මණ්ඩලයේ ණය පියවා ගන්න සිදුකළ යුත්තේ විදුලි බිල වැඩි කිරීම නෙවෙයි. විදුලි බල මණ්ඩලයේ දුෂිත ගණුදෙනු පිළිබඳ පරීක්ෂණ පවත්වලා, විදුලිය මිලදී ගන්න ඩීසල් බලාගාර සමඟ ඇතිකරගත් ගිවිසුම් හරහා සිදුවුණ අසාධාරණ නිවැරදි කිරීම් සිදුකිරීම් තුළින්. නමුත් ඒ වෙනුවට විදුලි පාරිභෝගිකයාගේ කරමත විදුලි බිල පැටවීම සමගි ජන බලවේගය විදිහට
හෙළා දකිනවා. ඊට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ග සියල්ල ගැනීමට කටයුතු කරනවා.

විදුලි ජනන සැලැස්මට අනුව වර්ශාව සමඟ ලැබෙන වාසිය විදුලිබල මණ්ඩලය විසින් ජනතාවට දිය යුතු අවස්ථාවක දූෂණ වංචා වලින් සිදුවුණ අලාභයන් පියවා ගැනීම සමගි ජනබලවේගය තරයේ හෙළා දකිනවා.

ලංකාවේ පොලිසියක් තිබුණට පොලිස්පතිවරයෙක් නෑ. පොලිස් ඉතිහාසය තුළ පොලිස්පතිවරයෙක් නැතුව පොලිසිය තිබිලා නෑ. පොලිස්පතිවරයෙක් රටට නැතිවීමට හේතුව ජනාධිපතිවරයා සහ පොහොට්ටුව අතර තිබෙන බල අරගලය. මේ බල අරගලය නිසා පොලිසිය අද අනාථ වෙලා තිබෙනවා. පොලිස්පතිවරයෙක් පත් කර ගැනීමට නොහැකිව ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට තඩිබාන්න සුදානම් වෙනවා කියලා අපිට ආරංචි වෙලා තිබෙනවා. මේ කාරණයට ව්‍යවස්ථාදායක සභාව පලි නෑ. ව්‍යවස්ථාදායක සභාවට හරි තීන්දු තීරණ දෙන්න උදව් කරනවා මිසක් කකුලෙන් අදින්න කටයුතු කරලා නෑ. ව්‍යවස්ථාදායක සභාව හිටපු පොලිස්පතිවරයාට සේවා දිගු දෙකක් ලබාදෙන්න කටයුතු කරලා තිබෙනවා. එය නිවැරදි තීන්දුවක් නොවුනත් රට අස්ථාවර නොකර ඉදිරියට ගෙන යන්න ව්‍යවස්ථාදායක සභාව දුන්න සහයෝගයක්.

ප්‍රජාත්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය ලෙස ජනාධිපතිවරයා හැදින්වුවා. නමුත් අද එය පෙනෙන්නට නෑ. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නෙවෙයි අධිකරණයටත් බලපෑම් කරමින් කටයුතු කරන බව දැනෙනවා. එය එතරම් හොද ලක්ෂණයක් නෙවෙයි.

අද රටේ බරපතල ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ කාටවත් අයිති භූදලයක් නෙවෙයි. ඒක කිසි අයෙකුට අයිති නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ ජනතාවගේ සම්පතක්. අපේ රටේ ආගමට නොදෙවෙනි ආගමක් ලෙස ක්‍රිකට් හදුන්වා දෙන්න පුලුවන්. අවාසනාවන්ත විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් වුණා. ලෝක කුසලාන පරාජය ක්‍රීඩකයින් පිට දාන්න අපි කැමති නෑ. මේ පරාජය කාලාන්තරයක සිට සිදුවුණ ප්‍රතිඵලයක්. බොහොම අමාරුවෙන් ලෝක කුසලානයට තේරිලා අපි බලාපොරොත්තු වෙනවානම් ක්‍රීඩකයින් කප් එක අරගෙන එයි කියලා එව සාධාරණ දෙයක් නෙවෙයි. ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය වුණා. ක්‍රීකට් ක්‍රීඩාවට දේශපාලන අතකොලු පත් වුණා. ක්‍රිකට් බලධාරීන් ක්‍රිකට් ක්‍රීඩාව පැත්තකින් තියනා වෙන වෙන දේවල් වලට යොමු වුණා. ඒවායේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ පරාජයන් සිදුවුණේ. මේ පරාජයන්ට ක්‍රීඩකයින්ට ඇගිල්ල දිගු කරලා වැඩක් නෑ.

ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කළා. අතුරු පාලක මණ්ඩලය පත්කළේ කොහොමද කියලා හොයන්න ජනාධිපතිවරයා කැබිනට් ඇමැතිවරු ඉන්න කමිටුවක් පත් කරනවා. දැන් ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය පත් කිරීමට විරුද්ධව තහනම් නියෝගයක් අරගෙන තිබෙනවා. ආණ්ඩුව රට පොලිසිය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ කිසිවක් පාලනය කරන්න බෑ. ආණ්ඩුව කරන දේ ක්‍රිඩා ඇමැති දන් නෑ. ක්‍රිඩා ඇමැති කරන දේ ආණ්ඩුව දන්නේ නෑ. අයාලේ යන රටක් බවද අද ලංකාව පත්වෙලා තිබෙනවා. ක්‍රීඩා ඇමැති ඇමැති ආණ්ඩුවේ නෙවෙයිද? ක්‍රිඩා ඇමැති කැබිනට් මණ්ඩලයේ නෙවෙයිද? ක්‍රිඩා ඇමැති පත් කළේ ජනාධිපති නෙවෙයිද?

ක්‍රීකට් පාලක මණ්ඩලය පත් කරන්න පිරිසක් ෂම්මි සිල්වාගේ කණ්ඩායමට උදව් කරනවා තව පිරිසක් ක්‍රිඩා ඇමැතිට උදව් කරනවා. තව පිරිසක් උපාලි ධර්මදාසට උදව් කරනවා. තව පිරිසක් ජයන්ත ධර්මදාසට උදව් කරනවා මේක මහා පැටලැවිල්ක් වෙලා තිබෙන්නේ. කිසිම පාලනයක් නෑ.

පාලනයෙන් තොර රටක් බවට ලංකාව අද පත්වෙලා. වර්තමාන පාලනයෙන් ලංකාව ගොඩ ගන්න බෑ. රට පාලනය කරන්න නිවැරදි පාලනයක් තියෙන්න ඕන. නිවැරදි කණ්ඩායමක් ඉන්න ඕන. කැබිනට් මණ්ඩලය වගේමයි ක්‍රිකට් පාලක මණ්ඩලයත් කිසිම වෙනසක් නෑ. අයාලේ යන රටක තමයි අපි ජීවත් වෙන්නේ. අයාලේ යන රටකින් ජනතාවට සෙතක් වෙන්නේ නෑ. රට නිවැරදි දිශාවකට ගෙනියන්න රටේ මතය නියෝජනය වන ජනමතයක් තිබෙන ආණ්ඩුවක් බිහිවිය යුතුයි. ඒ වෙනුවෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්න එළැඹෙන අයවැයේදී අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරයාගේ සැලසුම අනුව අයවැය මැතිවරණ අයවැයක් වෙන්න පුලුවන්. ආණ්ඩුවේ අවසන් අයවැය වෙන්නත් පුලුවන්. අයවැයේදී රටේ ජනතාවගේ පැත්තේ ඉදන් සියලු තීන්දු තීරණ ගන්නවා.


ප්‍රශ්නය – මාර්ගගත ආරක්ෂණ පනත සංශෝධන හරහා සම්මත කරගන්න පුලුවන් කියලා. ඒ පිළිබඳව ඔබතුමාලා දැනුම්වත්ද

පිළිතුර – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාර්ගගත ආරක්ෂණ පනතට විරුද්ධව සමගි ජනබලවේගයේ මතය ඉදිරිපත් කළා. සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍යවල ස්වාධීනත්වය ගරු කරන පක්ෂයක් සමගි ජනබලවේගය. පක්ෂයක් විදිහට අපි ස්වාධින මාධ්‍ය පැත්තේ හිටගන්න පිරිසක්. අධිකරණයෙන් නීතිපති දුන්න සංශෝධන ගැන අධ්‍යනය කළ යුතුයි. මාර්ගගත ආරක්ෂණ පනතට විරුද්ධව අපි පෙනී සිටිනවා.

ප්‍රශ්නය – ක්‍රිඩා ඇමැතිවරයා පත් කළ අතුරු කමිටුවට ගැන හොයන්න ජනාධිපති කැබිනට් ඇමැතිවරුගෙන් යුතු කමිටුවක් පත්කරන්නේ ක්‍රිකට් මණ්ඩලයේ දූෂණ වංචා හොයන එකට ජනාධිපතිවරයා කැමැති නැතුවද?

පිළිතුර – ආණ්ඩුව තැන් කිහිපයකින් පාලනය වෙනවා. එකපැත්තකින් ජනාධිපති කාර්යාලයේ ඉන්න ජනාධිපතිගේ කණ්ඩායම ජනාධිපති පාලනය කරනවා.
නෙලුම් මාවතේ බැසිල් මහත්තයාගේ කණ්ඩායම ආණ්ඩුව පාලනය කරනවා. නාමල් රාජපක්ෂ තවත් පැත්තකින් පාලනය කරනවා. ලංසා මීගමුවේ ඉදන් ආණ්ඩුව පාලනය කරනවා. පැති කිහිපයකින් ආණ්ඩුව පාලනය කිරීම නිසා තමයි මේ ගැටලු ඇතිවෙලා තිබෙන්නේ. ජනාධිපති හොරු නියෝජනය කරනවාද රට නියෝජනය කරනවාද එජාපය නියෝජනය කරනවාද පොහොට්ටුව නියෝජනය කරනවාද කියලා අපිටත් හොයා ගන්න බෑ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ වංචා දූෂණ ගණනාවක් පසුගිය කාලයේ තිබුණා. කල්ලි කණ්ඩායම් සතුටු කරන්න ජනාධිපතිවරයා මේ ප්‍රශ්නයට මැදිහත් වෙනවානම් එයින් වැඩක් වෙන්නේ නෑ. ජනාධිපතිවරයා පෙනී ඉන්න ඕන නිවැරදි දේ වෙනුවෙන්.

ප්‍රශ්නය – විදුලි බිල වැඩි කිරීමට විරුද්ධව සමගි ජනබලවේගය තීන්දු තීරණ ගන්නවා කිව්වත් ඇමැතිවරයාට ඕන විදිහට විදුලිබිල වැඩිකරගෙන යනවා.

පිළිතුර – 2020 ජනතාව සමගි ජනබලවේගයට ජනමතයක් දුන්නා. ඒ ජනමතය තමයි පාර්ලිමේන්තුවේ විපක්ෂයක් ලෙස නියෝජනය කරන්නේ. අපි ආණ්ඩුව ගන්න අසාධාරණ තීන්දු තීරණවලට දිගින් දිගටම හඩ නගනවා. නමුත් පොහොට්ටුය ඒ සියල්ල ආරක්ෂා කරනවා. විදුලි බිල වැඩිකිරීම ගැන කාංචන විජේසේකරට එරෙහිය විශ්වාසභංගයක් ගෙනාවත් පොහොට්ටුව ඔහුව ආරක්ෂා කරනවා. ආණ්ඩුව ගෙදර යැවීමේ වැඩපිළිවෙලක අපි නිරත වෙනවා. ගෝඨාභය ගෙදර යැව්වට ඔහු සමඟ සිටි බොහෝ පිරිසක් ආණ්ඩුව නියෝජනය කරනවා. ඔවුන් ආණ්ඩුව අරගෙන යනවා.
ඉත්තෝ එහෙ මෙහෙ කරලා මේ ගේම් එක දිනන්න බෑ.