සාමාන්‍ය ජනතාවට අධික බදු බර
ගජමිතුරන්ට අරක්කු සමාගම්වලට බදු සහන
ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත ගැන විපක්ෂ නායකවරයාගෙන් දොස්

දේශීය මත්පැන් නිෂ්පාදනය සහ ආනයනික මත්පැන් නිෂ්පාදනය තුළින් රජයට ඉහළ බදු ආදායමක් හිමිවිය යුතුව ඇතත් මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් සිදු කරන විවිධ වංචා සහගත කූට උපක්‍රම නිසා නියමිත බදු ආදායම එපරිද්දෙන්ම රජයට හිමි නොවන බවත් මේ සම්බන්ධයෙන් ඉහළ නිලධාරින් පවා දැනුවත් කළත් නිසි පියවරක් නොගෙන ඇති බවත් එබැවින් සුරාබදු ක්ෂේත්‍රයේ සිටින ඉහළ නිලධාරින් සම්බන්ධයෙන් සොයා බලා රටට බදු ආදායම් අහිමි කරන හොරු කවුද කියා හෙළිදරව් කරන ලෙසත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

රජය ආර්ථිකය ශක්තිමත් කිරීමේ නාමයෙන් රටේ ජනතාවගේ කරපිට සෘජු හා වක්‍ර බදු පටවමින් සිටින මොහොතක මෙවැනි සිදුවීම් ගැන නොසොයා රජය සිදු කරන්නේ බදු ගෙවන සාමාන්‍ය ජනතාව මත තවතවත් බදු බර පටවා ඔවුන්ව පීඩාවට පත්කිරීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වැට් බදු වැඩි කිරීම මෙන්ම අනීතික ලෙස 3 වැනි වතාවටත් විදුලි බිල වැඩි කිරිමට කටයුතු කළා සේම සුරාබදු ක්ෂේත්‍රයේ සිදුවන වංචනික ක්‍රියා තුළින් රජයට අහිමි වන බදු මුදල් සම්බන්දයෙන් සොයා බලන ලෙසය.

එසේම රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට මිනිසුන්ට බදු ගැසුවත් අරක්කු සමාගම් වෙත ලබා දී ඇති අනීතික සහනය තුළ බිලියන 50කට වැඩි ආදායමක් අහිමි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (7) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

දේශීයව නිෂ්පාදන කරන හා ආනයනික මත්පැන් සඳහා බදු ගෙවා ඇති බවට සහතික කරන ස්ටිකරයක් ඇලවිය යුතු බවට 2019 නීතියක් ගෙන ආවත් මෙන්ඩිස් සමාගම කාලේ බෝතල් ලක්ෂයක් තුළ මෙම ස්ටිකර් වංචාව සිදුකර ලක්ෂ 300ක් පාඩු කර ඇති බවත් මොවුන්ට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග කවරේද කියා විමසා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම විවිධ කණ්ඩායම් 2023 ජනවාරි 18 වැනිදා පවා හොර ස්ටිකර් ගැන සුරාබදු කොමසාරිස්වරයා දැනුවත් කළත් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ඔහුට විරුද්ධව ගෙන ඇති පියවර කවරේද කියා විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කර සිටියේය. තව ද සංචාර ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙන මන්ත්‍රී නිර්දේශ මත බියර් බලපත්‍ර ලබා දුන්නත් සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක නොවන පැතිවල විහාරස්ථාන ආසන්නයේ පවා බියර් බලපත්‍ර ලබා දී ඇති බවත් සමහර පුද්ගලයන් රටේ නීතිය පවා උල්ලංඝනය කරමින් මෙවැනි බලපත්‍ර 2කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව අරක්කු සමාගම්වලට බයයි

රජය වෘත්තීයවේදීන් විශාල බදු ගැසුවත් අරක්කු සමාගම්වලට බදු ගැසීමට පැකිලෙන බවත් ඊට අමතරව බදු පැහැර හරින සහ වංචා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බිය වි ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙසේ අහිමි වූ බදු නැවත අය කර ගැනීම සහන ක්‍රමවේදයකට ක්‍රියාත්මක නොකරන ලෙසත් එය වංචාවක් බවත් බදු නොගෙවන මත්පැන් සමාගම්වලින් අයවිය යුතු මුදල වහා අය කර ගත යුතු බවත් ය.

ගජමිතුරන් එකතු වී සීනි බදු වංචාවකුත් කළා

තවද සීනි බදු වංචාව නිසා අහිමි වූ කෝටි 100ක බදු ආදායම සම්බන්ධයෙන් සවිස්තර විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය බවත් මේ මොහොත වෙන තුරු ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත්තේ මේ රජය දිනවන්න එම සමාගම් සහාය ලබා දීම නිසා බවත් මෙහි දී සිදුව ඇත්තේ ගජමිතුරු කුමන්ත්‍රණයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.