මේ රටේ වැඩකරන ජනතාවගේ සල්ලි වලට තට්ටු කරන්නට අධිභාර බද්දක් පනවන්නට මේ ආණ්ඩුව කටයුතු කළ බවත් වැඩකරන ජනතාවගේ සල්ලි ගසා කන්නට කරපු උත්සාහය සමගි ජන බලවේගය පරාජය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එයින් මෙරට ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමිකයින්ට මහත් අස්වැසිල්ලක් ලැබෙන බවද ඒ මහතා පැවසීය .

ආණ්ඩුව ගහපු කයිවාරු ටික අද ඔක්කොම බොරු වෙලා තියෙන බවත් දරුවන්ට කෑම ටික දෙන්න බැරුව පියවරු සියදිවි නසාගන්නා රටක් නිර්මාණය වී ඇති බවත් ඒ මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (02) මේ බව පවසා සිටියේ තිස්සමහාරාම උඩමත්තල ජන හමුවකට එක් වෙමිනි.

දරුවන්ට කෑම දෙන්න බැරුව තාත්තලා  සියදිවි නසා ගන්න රටට සෞභාග්‍යයේ දේශය කියන්නේ කෙසේදැයි විපක්ෂ නායකතුමා ප්‍රශ්න කළේය. ගොවියාට පොහොර ටික නැති කළේත්, අසූචි පොහොර ලබා දුන්නෙත් සෞභාග්‍යයේ  දැක්ම නිසා දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා වර්තමාන ආණ්ඩුව කළේ බලය ලබා ගනිමින් ඒ වෙනුවෙන් අසීමිතව බොරු කීම බවද පැවසීය .