නව විදුලි බල පනතින් ප්‍රමුඛතාවය ලබාදී ඇත්තේ මන්නාරම මෙගාවොට් 100 බලාගාරය විකිණීමට බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (21) දිනයේදී  පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ අජිත් පී පෙරේරා මහතා මෙසේ ද පැවැසීය.

‘‘අලුත් විදුලිබල පනත් කෙටුම්පතට අප්‍රේල් මාසයේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා. මෙම පනත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදිම ප්‍රශ්න සහගත කාරණයක්. අප්‍රේල් මාසයේ 8 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට අලුත් විදුලිබල පනත් කෙටුම්පතට ඇතුළත් වෙලා තිබුණේ නෑ. කැබිනට් ඇමැතිවරු රටේ නොමැති අවස්ථාවක , විදුලිබල පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයෙත් නොමැති අවස්ථාවක අලුත් විදුලිබල පනත් කෙටුම්පතට සම්මත කරගත් බව ඇමැතිවරයා ප්‍රකාශ කරනවා.

කැබිනට් මණ්ඩලය විශ්ලේෂණය නොකිරිම නිසා ඉල්ලා අස් කර ගත්ත අලුත් විදුලිබල පනත් කෙටුම්පතට නැවත ඉදිරිපත් කරනවානම් කැබිනට් මණ්ඩලය පුර්ණ අනුමැතියට ලක්වන පරිදි න්‍යාය පත්‍රයට ඇතුලත් කරලා විෂය පිළිබඳ දැනුම තිබෙන ඇමැතිවරුන්ට සාකච්ඡා කිරිමට ඉඩ සැලසෙන පරිදි අලුත් විදුලිබල පනත් කෙටුම්පතට ඉදිරිපත් නොකිරිම පිළිබඳව බරපතල සැකයක් තිබෙනවා. අලුත් විදුලිබල පනත් කෙටුම්පතට අප්‍රේල් මාසයේ 8 වැනිදා සම්මත කරගත් බව විෂ්‍ය භාර ඇමැතිවරයා කිව්වත් ඒ සම්මත කරගැනීම සැකකටයුතුයි.

අලුත් විදුලිබල පනත් කෙටුම්පතෙන් සිදුකරන්නේ විදුලි බල මණ්ඩලය අහෝසි කිරිමක්. ඒ වගේම විදුලි බල මණ්ඩලය අහෝසි කිරිම සුදුසුයි කියන පිරිසක් සිටිනවා. විදුලි බල මණ්ඩලය වසර ගණානවක සිට ලංකාවේ සෑම නිවසකටම විදුලි ලබාදිම සනාථ කරලා තිබෙන ආයතනයක් තමයි විදුලි බල මණ්ඩලය. බොහෝ දෙනෙකුගේ කැපවීම් මත ගොඩනැගුණ ආයතනයක් තමයි විදුලි බල මණ්ඩලය. විදුලි බල මණ්ඩලයේ අඩුපාඩු ද තිබෙනවා. ඒ නිසා විදුලි බල මන්ඩලය ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතුයි. විදුලි බල මණ්ඩලයේ වාර්තමාන ආකෘතියේ වෙනස්කම් සිදුවිය යුතුයි. නමුත් ආණ්ඩුව ඉදිරිපත් කරලා තිබෙන ආකෘතියෙන් සිදුවන්නේ විදුලි බල මණ්ඩලය කොටස් 12 කට කැඩිමක්. ඒ හරහා විකිණීමට හැකි අංශ සමාගම් බවට පත් කිරිම අලුත් විදුලිබල පනත් කෙටුම්පතෙන් සිදුකරලා තිබෙනවා.

ඩිසල් බලාගාර , ගල් අගුරු බලාගාර , සුලං බලාගාර වෙන වෙනම ආයතන බවට මෙම පනත හරහා පත් කරලා තිබෙනවා.
මේ බලාගාර විදුලි බල මණ්ඩලයට පාලනය කිරිමට අපහසු බලාගාර නෙවෙයි. මේ සියලු බලාගාර නිසි ලෙස පාලනය වන රජයට අයත් බලාගාර. මෙම පනතින් රජයට අයත් බලාගාර පෞද්ගලික අංශයට විකිණිමයි සිදු වෙන්නේ. එසේ සිදුකරලා මුදල් ලබාගන්න පුලුවන්. නමුත් අපට එම ආයතවලින් විදුලි ඒකකයක් ලබාගන්න වෙන්නේ වැඩි මිලකට. ඩිසල් බලාගාර , ගල් අගුරු බලාගාර , සුලං බලාගාර මිලදි ගන්න පෞද්ගලික ආයතන වලට ලාභය සනාථ කිරිම මේ පනතේ ලිඛිතව සඳහන් කරලා තිබෙනවා. ආණ්ඩුවට ඉතිරිවන්නේ බලාගාර විකුණලා ලබාගන්න මුදල පමණයි.

මේ පනත කඩිමුඩියේ සකස් කරලා ජනාධිපතිවරණය පෙර ක්‍රියාත්මක කරලා විකුණන්න පුලුවන් බලාගාර විකුණන්න ආණ්ඩුවේ යම් පිරිසක් සුදානමින් සිටිනවා. ඒ බලාගාර තරගකාරිත්වයකින් තොරව මිලදි ගන්න ජාවාරම්කරුවන් සුදානමින් සිටිනවා.

මේ පනත පුරවැසියන්ගේ අයිතින් කඩ කරන නිසා , විදුලි පාරිභෝගිකයන්ගේ අයිතින් වලට පටහැනි නිසා , විදුලි බිල වැඩිවිමට ඉවහල් නිසා , විදුලිබල මණ්ඩලයේ තිබෙන පුරවැසි බලය අහිමි වන නිසා , විදුලි සේවකයින්ට සුරක්ෂිත භාවයක් නොමැති නිසා මෙම පනතට සමගි ජනබලවේගය විරුද්ධයි. ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් පනතේ ව්‍යවස්ථානුකුලභාවය පරික්ෂා කරන්නත් සමගි ජනබලවේගය බලාපොරොත්තු වෙනවා. නමුත් පනතක සුදුසු නොසුදුසු භාවය පරික්ෂා කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණය පරික්ෂා කරන්නේ ව්‍යවස්ථානුකුලද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් පමණයි. ආණ්ඩුව මේ පනත සම්මත කළොත් රටේ විදුලි පද්ධතිය දේශීය විදේශීය ජාවාරම්කාරයින්ට සම්පුර්ණවශයෙන් විකිණිමට අවස්ථාව ලැබෙනවා.

මේ පනත මගින් මහජන උපයෝගිතා කොමිසම තව තවත් දුර්වල කරලා තිබෙනවා. විදුලි බල පද්ධතියේ ආරක්ෂාව පිණිස තිබෙන කාරණ මෙම පනතින් ඉවත් කරලා තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම අහෝසි කළා හා සමාන කරණා මෙම පනතේ ඇතුළත් වෙනවා. මේ පනත අනුව මහජන උපයෝගිතා කොමිසමෙන් වැඩක් වෙන්නේ නෑ. මහජන උපයෝගිතා කොමිසමේ බලතල පනතින් අයින් කළාට පස්සේ මහජන උපයෝගිතා කොමිසමක් වැඩක් නෑ. නව විදුලි පනතින් සිදුකරන්න යන්නේ රටට අයිති වෙලා තිබෙන සම්පත් විකිණිමක් තමයි සිදුකරන්න යන්නේ.

මෙම පනතට විරුද්ධව පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගයෙ ඡන්දය භාවිතා කරනවා. පනතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. මහජනතාවත් පෙළ ගස්වනවා. සමගි ජනබලවේග රජයක් තුළ මෙම තීරණය නිවැරදි කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ පනතින් සිදුකරන්නේ විදුලි බල මණ්ඩලයේ වටිනා සම්පත් විකිණීමට නිතිමය පසුබිම සකස් කිරිමක්.

අද තිබෙන විධිවිධාන අනුව මන්නාරම බලාගාරය , නොරොච්චෝල බලාගාරය , කැළණි තිස්ස බලාගරය විකුණන්න බෑ. රජය සුදානම් වෙන්නේ අලුත් විදුලි බල පනතින් මේ බලාගාර විකුණන්නයි. අලුත් බලාගාර හදන වැඩපිළිවෙළක් මේ පනතේ නෑ. විදුලි බිල වැඩි කරන ප්‍රතිපාදන මෙ පනතේ නෑ. අද විදුලි බලමණ්ඩලය ඉන්නේ අධ්‍යක්ෂවරු 5යි. අලුත් පනත අනුව විදුලි බල මණ්ඩලයට අධ්‍යක්ෂවරු 60 ක් පත්වෙනවා. විෂය භාර ඇමැතිට තමන්ගේ අය 60 ක් පත් කරන්න පුලුවන්. අධ්‍යක්ෂවරු පත්විය යුතු ක්ශ්‍රේත්‍රවත් පනතේ දක්වලා නෑ. මේ පනත මගින් රටේ විදුලි පද්ධතියට කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුවෙන්නේ නෑ. මේ පනත මගින් සිදුකරන්නේ හොරකම් වෙනුවෙන් ප්‍රතිසංස්කරණක්. ඉදිරි මාස කිහිපය ඇතුළත මන්නාරම සුළං බලාගාරය විකුණන්නයි ආණ්ඩුව උත්සහ කරන්නේ. ඒ සඳහා තමයි මේ අලුත් පනත ගෙන එන්නේ.

විදුලි බලමණ්ඩලය රටේ පුරවැසියන්ගේ අයිතියක් , පුරවැසියන්ගේ ධනයෙන් සහ කැප කිරිම් වලින් තමයි විදුලි බල මණ්ඩලය ගොඩනගලා තිබෙන්නේ. දේශිය විදේශිය ණයවලින් තමයි විදුලි බල මණ්ඩලය ගොඩනගලා තිබෙන්නේ. ධනවත් බවින් ඉහළ , තාක්ෂණය අතින් ඉහළම ආයතය විදුලි බල මණ්ඩලය. එය ලාභ ලබන තත්ත්වයට පත් කරන්න පුලුවන්. මේ පනතින් සිදුකරලා තිබෙන්නේ විකිණිමට අවශ්‍ය ප්‍රතිපාදන සැකසිම පමණයි. අලුතින් පෞද්ගලික බලාගාර හදලා තරගකාරි මිලට විදුලිය මිලදී ගැනිම ගැටලුවක් නෑ. තිබෙන බලාගාර විකිණිමෙන් තිබෙන බලාගාර දියුුනු වෙන්නේ නෑ.

විදුලි බල පද්ධතියේ තාක්ෂණික ප්‍රතිසංස්කරනය විය යුතුයි. විදුලි බල පද්ධතිය ස්මාර්ට් වෙන්න ඕන. ස්මාර්ට් විදුලි මිටර සවි කළ යුතුයි. බලශක්ති මෙහෙයුම යාවත්කාලින කරන්න ඕන. විදුලි බල ක්ෂ්‍රේත්‍රයේ ආයෝජනය කරන්න ආයෝජකයන්ට අවකාශය සැලසිය යුතුයි. නමුත් වර්තමාන ආණ්ඩුව සිදුකරන්නේ විදුලි බල මණ්ඩලයට අයත් බලගාර විකුණන්න.‘‘