ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ජසීන් බින් ජාබර් ජසීම් අල් සරුර් මහතා අද (07) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඒ ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලුවලට විසදුම් සෙවීම සම්බන්ධයෙන් එහි දී විශේෂ අවධානයක් යොමු කළ අතර ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තෙල් අර්බුදය පිළිබඳව ද සාකච්ඡාවට ගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ජන ජීවිත ගොඩ නැංවීම වෙනුවෙන් කටාරයේ සහයෝගය අපේක්ෂා කරන බව එහිදී විපක්ෂ නායකතුමා  පවසා සිටි අතර ශ්‍රී ලංකා – කටාර් ද්විපාර්ශ්වික සබඳතා ආශ්‍රිත වැදගත්කම පිළිබඳවද අවධාරණය කළේය.

කටාර් අරමුදල විවෘත කිරීම වෙනුවෙන් එවක සහභාගි වීම පිළිබඳව විපක්ෂ නායකතුමාට සිය ස්තූතිය පුද කළ කටාර් තානාපතිවරයා, ඊට සහභාගි වීම සම්බන්ධයෙන් ඒ වකවානුවේදී විපක්ෂ නායකතුමාට එල්ල වූ චෝදනා පිළිබඳව ද සිහිපත් කළේය.

එහිදී යම් අපහසුතාවයක් සිදුවූවා නම් ඒ පිළිබඳව කටාර් රජය වෙනුවෙන් සිය කනගාටුව පළ කරන බව පැවසූ තනාපතිතුමා විපක්ෂ නායකතුමා සමඟ ශක්තිමත් සබඳතාවයක් පවතින බවද පැවසීය.

තෙල් හා ගෑස් අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් විපක්ෂ නායකතුමා කරනු ලබන මැදිහත්වීම පිළිබඳව ප්‍රසාදය පළ කළ කටාර් තානාපතිවරයා ඒ වෙනුවෙන් දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව ද පැවසීය.

ආගම්වාදයෙන් ජාතිවාදයෙන් වර්ග වාදයෙන් තොර රටක් බිහිකිරීම වෙනුවෙන් තමන් කැපවන බව එහිදී විපක්ෂ නායකතුමා කටාර් තානාපතිවරයා සමග පැවසූ අතර කටාර් තානාපතිවරයා සහතික වූයේ, අනාගතයේ දී අවම වශයෙන් රැකියා ලක්ෂයක් කටාරය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් සූදානම් කරන බවය.