ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපති කරවීමට මුල පිරූ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ඊයේ (03) සිය දේශපාලන නායකයන් පුහුණු කිරීම සඳහා පුහුණු ආයතනයක් නිල වශයෙන්  ආරම්භ කළේය.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු නායකත්ව ඇකඩමිය නම් මෙම ආයතනය දේශපාලනයේ නිරත වීමට කැමැති පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගේ නායකත්ව හැකියා වර්ධනය කිරීමේ අරමුණු ඇතිව ආරම්භ කළ එකක් බව එහි සමාරම්භක පාසල් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර සඳහන් කළේය.

මෙම නායකත්ව ඇකඩමිය  සිය පළමු සැසිය ඊයේ (03) ශ්‍රි ජයවර්ධනපුර ඉම්පීරියල් මොනාර්ච් හෝටලයේදී පවත්වන ලද අතර එහිදී හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකයකු වන එරන්ද ගිනිගේ, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක සහ මහාචාර්ය රංජිත් බන්ඩාර යන සම්පත් දායකයන් සිය දේශන ඉදිරිපත් කර ඇත.

මේ නව ආයතනය සම්බන්ධයෙන් සකස් කර ලද දැනුවත් කිරීමේ පත්‍රිකාවක සඳහන් වන්නේ දේශීය ව සහ ගෝලීයව දේශපාලන නායකත්වයෙන් හිඟයක් ඇති බැවින් පළාත් පාලන, පළාත් සභා ජාතික මට්ටමේ දේශපාලන ව්‍යූහයන් තුළට නායකත්වයේ ලක්ෂණ සතු දැනුමින් සහ කුසලතාවලින් යුත නව නායකයන් බිහි කරලීම බව සඳහන් කර ඇත.

මෙම නව නායකත්ව ඇකඩමියේ සභාපතිවරයා වන්නේ බැසිල් රාජපක්ෂ   වන අතර සමාරම්භක පාසල් ප්‍රධානියා වන්නේ මහාචාර්ය රංජිත් බණ්ඩාරය.

එයට අමතරව මෙම ඇකඩමියේ පාලක සභා සාමාජිකයන් ලෙස මහාචාර්ය රංජිත් දිසානායක, මහාචාර්ය අජත් දිසානායක, මහාචාර්ය ජීවා නිරිඇල්ල මොහාන් සමරනායක සහ එරන්ද ගිනිගේ ය  කටයුතු කරති.