සියලු දෙනාට නීතිය එක හා සමානයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුවත් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්න පිරිසට වෙනම නීතියක් සහ විපක්ෂයේ හා සිවිල් ක්‍රියාකාරින්ට වෙනම නීතියක් රට තුළ ක්‍රියාත්මක වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

ඊයේ (28) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මහතා කීවේ, ආර්ථික අර්බුදයේ වගකීම සියලු දෙනා දැරිය යුතු බව වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ පිරිස් පවසන බවත් නමුත් ඔවුන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට කිසිදු ආකාරයක කැපකිරීමක් සිදු නොකරන බවත් ඔවුන් ජනතා මුදල් වලින් උපරිම වින්දනයක් ලබන බවත්ය.

වික්‍රමසිංහ රාජපක්ෂ පාලන තන්ත්‍රය තුළ රටේ නීතියේ ආධිපත්‍ය බිඳවැටී ඇති බවත් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවට රට තුළ නීතියේ ආධිපත්‍ය ඇති කිරීමට නොහැකි බවත් ඒ සඳහා ඔවුන්ට අවශ්‍යතාවයක් ද නැති බවත් රහුමාන් මහතා පැවැසීය.

වංචා දූෂණ නැති කළ යුතුයි කියා පවසන ජනාධිපතිවරයා සුදුළුණු වංචාව සිදුවන අවස්ථාවේ සතොස ආයතනයේ විධායක නිලධාරියා ලෙස කටයුතු කළ එම වංචාවට වගකිවයුතු පුද්ගලයාව මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා පත් කර ඇති බවත් මුජිබර් රහුමාන් මහතා කීවේය.

එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ තිබුණ දත්ත මැකි යාම පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන ආයතනයට නැවත වරක් ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය සඳහා අවසර ලබාදීමට රජය කටයුතු කර ඇති බවත් රහුමාන් මහතා වැඩිදුරටත් පැවැසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මහතා මෙසේ පැවැසීය.

‘‘ජනවාරි මාසයේ සිට අලුත් භාණ්ඩ හා සේවා 97 කට වැට් බද්ද එකතු වෙනවා. ඒ හරහා භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම හේතුවෙන් තව තවත් ජනතාව අසීරුතාවයට ලක්වෙනවා. සහන ලබාදෙන්න කාලයක් ගතවෙයි එතෙක් ඉවසාගෙන ඉන්න කියලා වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ පිරිස් ජනතාවට කියනවා. නමුත් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවට උත්සව සමයේදීවත් ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩුකර ජනතාවට සහනයක් ලබාදීමට නොහැකි වුණා. ඒ වගේම ආර්ථික අර්බුදයේ වගකීම සියලු දෙනා දැරිය යුතු බවත් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ පිරිස් කියනවා. නමුත් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරු කිසිදු ආකාරයක කැපකිරීමක් කරන්නේ නෑ. ඔවුන් ජනතා මුදල් වලින් උපරිම වින්දනයක් ලබාගන්නවා. ඔවුන්ගේ සියලු වියදම්වල ගෙවීම් රටේ අහිංසක ජනතාවට ගෙවන්න සිදුවෙලා තිබෙනවා.

බාල ඖෂධ ගෙන ඒම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව කට උත්තරයක් ගන්න හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළියගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්ලමේන්තුව යනවා. වෙනත් පුද්ගලයින්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිහින් කට උත්තර ගන්නේ නෑ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තමයි කට උත්තරය ලබා ගන්නේ. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්ලමේන්තුව ආණ්ඩුවේ ඇමැතිවරු ලඟටම ගිහින් කට උත්තර ගන්න කටයුතු කරනවා. මේ පරීක්ෂණ පිළිබඳව මොනතරම් ස්වාධීනත්වයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩ කරනවාදැයි කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යාම තුළින් පෙනෙන්නට තිබෙනවා. රටේ නිතියේ ආධිපත්‍ය සම්පර්ණයෙන් විනාශ වෙලා තිබෙන්නේ.

සුදුළුණු වංචාවට සම්බන්ධ නිලධාරියා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් කරලා

සතොස ගෙනාපු සුදුළුණු පෞද්ගලික ව්‍යාපාරිකයන්ට විකුණලා නැවත ඒ පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ එම සුදුළුණු මිලදි අරගෙන විශාල වංචාවක් සිදුවුණා. එම වංචාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක්ද පැවැත්වුවා. සතොසේ හිටපු නිලධාරීන් පිරිසක්ද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. නමුත් අදවනවිට ඒ පරීක්ෂණ පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වෙන්නේ නෑ. මෙම සුදුළුණු වංචාව වන අවස්ථාවේ සතොසේ විධායක නිලධාරියා ලෙස කටයුතු කර එම වංචාවට වගකිවයුතු පුද්ගලයාව ජනාධිපති විසින් මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා බවට පත් කරලා තිබෙනවා. වංචා දූෂණ නැති කළ යුතුයි කියලා කියන ජනාධිපතිවරයා ඔවුන් අමාත්‍යාංශවල ලේකම්වරු ලෙස පත් කරනවා. සුදුලූණු වංචාව සිදුවනවිට වෙළද ඇමැතිවරයා ලෙස කටයුතු කළේ බන්දුල ගුණවර්ධන. බන්දුල ගුණවර්ධන මහා මාර්ග ඇමැති වුණාම සුදුළුණු වංචාව වන අවස්ථාවේ සතොසේ විධායක නිලධාරියා ලෙස කටයුතු කර එම වංචාවට වගකිවයුතු පුද්ගලයාව මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් කරලා තිබෙනවා. වර්තමාන රජය දූෂිත නිලධාරීන්ට එරෙහිව කටයුතු නොකර දූෂිත නිලධාරින්ව ලං කරගෙන දූෂණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න තමයි කටයුතු කරන්නේ.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකි යාමට වගකිව යුතු ආයතයට පාස්පොට් හදන්න අවස්ථාව

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ තිබුණ දත්ත කිහිපයක් මැකි ගිහින් තිබුණා. මෙම දත්ත මැකි යාම සංවිධානාත්මකව සිදුකළ කටයුත්තක් බව විපක්ෂය සඳහන් කළා. ඒ බව යම් ප්‍රමාණයටකට තහවුරු වෙලා තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය හැසිරවීම සිදුකරන ආයතනයේ සේවකයෙකුද මේවනවිට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. එම සේවකයා මෙම සිද්ධියට වගකිව යුතු බවට පරීක්ෂණ වලින් තහවුරු වෙලා තිබෙනවා. එම ආයතනය සම්බන්ධයෙන් ද මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙනවා. නමුත් තවම සෞඛ්‍ය අමාත්‍යාංශය එම ආයතනය අසාදුගත ලේඛනයට ඇතුළත් කරලා නෑ. ඒ සම්බන්ධයෙන් අපට ගැටලුවක් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත මැකි යාම හමුවේ මෙරට සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රය බරපතල තත්ත්වයකට පත්වුණා.

2003 දී ආගමන විගමන දෙපාර්තමේන්තුව ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කරන්න භාර දුන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය නිර්මාණය කළ ආයතනයට. ඒ අනුව අවුරුදු 20 ක් ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය සඳහා එම ආයතනයට අවසර ලබාදිලා තිබෙනවා. කෙසේ නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකියාමට වගකිව යුතු මෙම ආයතනයට නැවත වතාවත් ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරිමේ ටෙන්ඩරය නැවත ලබාදීලා තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ තිබුණ දත්ත මැකි යාම පිළිබඳ එම ආයතනයට විරුද්ධව නඩුවක් විභාග වෙනවා. එම නඩුව විභාග වී අවසන් වනතෙක් රජයේ ව්‍යාපෘතිවලට සම්බන්ධ කර ගැනීම නතර කළේ නෑ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටියේ සභාපති ලෙස කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ කාලයේ මුද්‍රණාලාධිපති ලෙස කටයුතු කළ පුද්ගලයා. ඔහු අනිසි ලෙස බලය භාවිතා කිරීම හේතුවෙන් වැඩ තහනමට ලක්වුණ පුද්ගලයෙක්.

සමගි ජන බලවේග රජයක් යටතේ සියලුම වංචා දූෂිතයන් නීතියේ ඉදිරියට ගේනවා. යහපාලන ආණ්ඩු සමයේ යට ගහපු නඩු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නඩු සියල්ල එළියට අරගන්නවා. වර්තමාන රජය තුළ සිදුවුණ වංචා දූෂණ සම්බන්ධයෙන් ද නීතිමට පියවර ගන්න කටයුතු කරනවා. ජනතා මුදල් හොරකම් කළ පිරිස් නිතිය හමුවට ගෙනල්ලා ඔවුන්ට දඩුවම් ලබාදී වංචා කළ මුදල් නැවත අය කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරනවා.

වික්‍රමසිංහ රාජපක්ෂ පාලන තන්ත්‍රය තුළ නීතියේ ආධිපත්‍ය බිඳවැටිලා තිබෙන්නේ. පහුගිය කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කෙහෙළිය රඹුක්වැල්ලට ලබාදුන්න සහනය අනෙක් පුද්ගලයන්ට ලබාදුන්නේ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සියලු දෙනාට නීතිය එක හා සමානයි කියලා සඳහන් වෙනවා. නමුත් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්න පිරිසට ඒවා අදාල වෙන්නේන නෑ . ආණ්ඩුවේ සිටින පිරිසට වෙනම නීතියක් , ජනාධිපතිවරයාගේ ළඟම ඉන්න පිරිසට වෙනම නීතියක් සහ විපක්ෂයේ සහ සිවිල් ක්‍රියාකාරින්ට වෙනම නීතියක් අද රට තුළ ක්‍රියාත්මක වෙනවා. වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවට රට තුළ නීතියේ ආධිපත්‍ය ඇති කරන්න බෑ සහ ඔවුන්ට නිතියේ ආධිපත්‍ය ඇති කරන්න අවශ්‍යතාවයකුත් නෑ.

රාජපක්ෂලාට ගුණුදෙනු කරන්න පහසු පුද්ගයෙක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ පහසු කෙනා තමයි රනිල් වික්‍රමසිංහ. ඒ නිසා රාජපක්ෂලා ඔහුව ජනාධිපති ලෙස පත් කර ගත්තා. ඒ වගේම තමටි ඩීල් වලට පහසු පුද්ගලයින්ව තමයි ඇමැතිවරු තමන්ගේ ලේකම්වරු ලෙස පත් කර ගන්නේ. වංචා දූෂණවලට උදව් කරන අනුමැතිය ලබාදෙන ලේකම්වරුන්ට ඇමැතිවරු කැමැතියි. එවැනි ලේකම්වරු පත් කිරීමට කිසිදු සොයා බැලීමකින් තොර ජනාධිපතිවරයා අනුමැතියත් ලබාදෙනවා. කෙසේ නමුත් ඉදිරියේදී රාජපක්ෂවරු කවුරු පෙරමුණට දාගෙන ඉදිරියට එන්න උත්සහ කළත් මැතිවරණයේදී උවුන්ගේ මතවාදය සහ දේශපාලන බලය කැඩිලා බිඳිලා විශාශ වෙලා යනවා.  ‘‘