මාර්ගගත සුරක්ෂිතභාවය යනුවෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කිරීම නිසා සමාජ මාධ්‍ය හරහා රටට තොරතුරු හෙළි කිරිමට මිනිසුන් බය වී ඇති නමුත් සත්‍යවාදී තොරතුරු රටට හෙළි කිරිමට බිය නොවන ලෙසත් එසේ සත්‍යවාදී තොරතුරු රටට හෙළි කිරිම තුළින් අසහනයට පත් වන රාජ්‍ය මිලේච්ඡත්වය රාජ්‍ය හිරිහැරවලට අත්අඩංගුවට ගැනීම්වලට ලක්වන සියලුම ජනතාව වෙනුවෙන් නොමිලේ නීති සහාය ලබා දී ඒ වෙනුවෙන් පෙනී සිටින්න සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (2) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 80 වැනි අදියර යටතේ කඹුරුපිටිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඇත්ත කතා කරන්න, චරිත ඝාතනය නොකර නිදහසේ සත්‍ය හෙළිදරව් කරන්න ජනතාවට අයිතිය ඇති බවත් මෙය හිට්ලර්ගේ හෝ මුසොලනීගේ හෝ ස්ටාර්ලින්ගේ රට නොවන බවත් මේ රටේ මාකොස්ලා නොමැති බවත් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට විනාශ කළ පුද්ගලයන්ගෙන් බලය ලබා ගෙන හිට්ලර්ලා, මුසෝලනීලා වෙන්න උත්සාහ කරන්නේ නම් තව මාස 7, 8කින් ජනතාව රටේ වෙනසක් සිදු කරන බවත් ඒ වෙනස පොදුජන වරම තුළින් සිදුවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සක්වල දිහා දේශපාලන කෝණෙන් බලන්න එපා

සක්වල වැඩසටහන සිදු කිරීමේ දී සමහර විදුහල්පතිවරු සහ ගුරුවරුන් අතරින් සුළු පිරිසක් සක්වල වැඩසටහන ප්‍රතික්ෂේප කළ බවත් අවසානයේ දෙමාපියන් විදුහල්පතිගේ නිවස වටලා බලපැමක් කළ නිසා සක්වල වැඩසටහන ක්‍රියාත්මක කිරිමට හැකි වූ බවත් මෙසේ ප්‍රතික්ෂේප කළ පාසල්වල පරිගණක හරිහැටි නොමැති බවත් දේශපාලන දෘෂ්ඨිකෝණයකින් මෙම වැඩසටහන දිහා නොබලන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාසල්වලට කුහක දේශපාලනය ගෙන එන්න එපා

පාසල්වලට කුහක දේශපාලනය ගෙන නොඑන ලෙසත් මේ බස් රථ සහ සුහුරු පන්ති කාමර ලබා දෙන්නේ නිදහස් අධ්‍යාපන සංකල්පය ශක්තිමත් කිරිමට බවත් මේ සදහා නිල්, රතු, කොළ, තැබිලි, කහ පාට වැනි දේශපාලන පක්ෂ ගාව නොගන්නා ලෙසත් මෙවැනි කුහක කම් නොකර ජනතාවට සේවය කිරීමට පැමිණෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම පාසල ඇතුළත සිටින පුද්ගලයන්ගේ දේශපාලන මතිමතාන්තර උපයෝගී කර ගෙන මෙම වැඩසටහන් කඩාකප්පල් නොකරන ලෙසත් මෙම බස් රථ හෝ සුහුරු පන්ති කාමර ලබා දෙන්නේ ආණ්ඩුවට, දේශපාලනඥයන්ට, ජනාධිපතිට, අගමැතිට නොව රටේ පාසල් දූදරුවන්ට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙසේ පැවසූ නිසා අමනාප නොවන ලෙසත් තමා කෙළින් කතා කරන ඇත්ත ඇති සැටියෙන් දකින කෙනෙක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය. එසේම 80 දශකයේ පාසල් පුච්චන ව්‍යාපෘතියක් තිබූ නිසා එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සෑම පාසලකම ‘මේ මගේ දරුවගේ පාසලයි එය සුරැකීම අපගේ යුතුකමයි’ යනුවෙන් ලියා තැබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 80ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 781ක් වැය කර තිබේ.