ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග විස්තීරණ ණය පහසුකමට අදාව ගිවිසුමට අනුව දෙවැනි ණය වාරිකය සම්බන්ධ ප්‍රගති සමාලෝචන සාකච්ඡා නිසි තීරණයකින් තොරව අවසන් වී ඇති බවත් එම වැඩපිළිවෙළ නිසි කාර්යක්ෂමතාවකින් යුතුව සම්පූර්ණ කිරීමට රජය අපොහොසත් වී ඇති නිසා එම දෙවැනි වාරිකය ලබා දෙන නිශ්චිත දිනයක් දන්වා නොමැති බවත් ඒ සදහා ශ්‍රී ලංකා රජය විසින් ආදායම් ඉලක්ක සපුරා ගැනීමත් දුෂණ වංචා වැළැක්වීමට අදාළ රාජ්‍ය පාලනයට සම්බන්ධ ඉලක්ක සපුරා ගැනීම සිදු කළ යුතු බවත් මේ සදහා රජය ගන්නා පියවර කවරේද කියා විමසා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අයි. එම්. එෆ් එක විසින් ලබා දුන් පරිපාලන දෝෂ විනිශ්චය වාර්තාවට අනුව මේ රටේ දූෂණය ඉහවහා ගොස් ඇති බව සුලු ප්‍රභූ පවුල් ප්‍රමාණයක් අතර බලය කේන්ද්‍ර ගත වීම, මහජන දේපල අවභාවිතය තුළ දූෂිත පවුල් පාලනය තුල රට බංකොලාත් වී ඇති බවත් තවමත් මේ රටේ ක්‍රියාත්මක වන්නේ දූෂිත පවුල් පාලනයේ දිගුවක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ (IMF) අයි. එම්. එෆ් ගිවිසුමේ දෙවැනි වාරිකය නොගෙවීම සම්බන්දයෙන් රජයෙන් ප්‍රශ්න කරමිනි.

අයි. එම්. එෆ් වාර්තාවට අනුව සුබසාධනය කඩා වැටි දූෂණ විරෝධී වැඩපිළිවෙළක් නොමැති කම හා නීතියේ ආධිපත්‍ය කඩා වැටී ඇති බවත් ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය පවා දුර්වල වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අයි. එම්. එෆ් එකේ කොන්දේසි, ඉටු කළ කොන්දේසි හා පැහැර හරින ලද කොන්දේසි කවරේද කියා විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය වෘත්තිකයන්ගෙන් ඉහළ බදු ප්‍රමාණයක් අය කරමින් සිටින බවත් ඉන්දන, ජලය සහ විදුලි ගාස්තු දිගින් දිගටම ඉහළ නංවමින් සිටින බවත් මේ සියල්ල සිදු කරන්නේ රාජ්‍ය ආදායම වැඩ කර ගැනීමේ අරමුණින් වුවත් මත්පැන් නිෂ්පාදන ආයතන 2ක් බිලියන 1.7ක බදු පැහැර හැරීම් සිදු කර ඇති බවත් පැවසීය.