රටේ ගොවි ජනතාව අද දැඩි අපහසුතාවයකටත්, දැඩි අසිරුතාවයකටත් පත්ව සිටින බවත් පොලොන්නරුවේ කුඹුරු අක්කර 8200 ක් වතුරෙන් යටවී තිබෙන පසුබිමක අම්පාර , ත්‍රිකුණාමලය යන ආධී ප්‍රදේශ වල ගොවි ජනපදවලටත් මෙම ඉරණමම අත්වී තිබෙන බවත් කින්ස් නෙල්සන් මහතා පැවසීය.

ඊයේ දින (06) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.‍

මේ වන විට නාඩු වී කිලෝවක් රුපියල් 83ක්, සම්බා වී කිලෝවක් 97ක්, කිරි සම්බා වී කිලෝවක් 123ක් වැනි අවම මිලකට රජය විසින් මිලදී ගන්නා අතර තව මාස කිහිපයකින් දැන් තිබෙන වී මිල තවත් පහළට වැටෙන බවත් එවිට මහා පරිමාණ වී මෝල් හිමියන් සුළු මුදුලකට වී ටික ගොවියාගෙන් මිලදී ගන්නා බවත් ගොවියන්ට සාධාරණය ඉටුවීමට නම් මේ සඳහා අනිවාර්යයෙන් රජය මැදිහත්විය යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

මහා පරිමාණ වී මෝල් හිමියන් ගොවියාගේ වී සාධාරණ මිලකට මිලදී ගැනීමට නම් රජය ගොවියාගෙන් වී කිලෝව 135 ත් 140 ත් අතර මිලකට ගත යුතුව තිබෙන නමුත් එවැනි වැඩපිළිවෙලක් රජය සතුව නොමැති බවත් කින්ස් නෙල්සන් මහතා පැවසීය.