ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

සූම් තාක්ෂණය ඔස්සේ පැවැති මෙම සාකච්ඡාවේදී මැතිවරණ කොමිසම ඇතුලු අනෙකුත් කොමිෂන් සභාවලට නියෝජිතයන් පත්කිරීම සදහා දැන්වීම් පළකිරීම සම්බන්ධයෙන් නැවත වතාවක් සාකච්ඡා වී ඇති බව දැනගන්නට ඇත.

ඉකුත් සති අන්තයේ මෙම දැන්වීම් පළ කිරීමට ව්‍යවස්ථාදායක සභාව සැලසුම් කර තිබුණද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ විරෝධය හමුවේ එම දැන්වීම් පළ කිරීම අත්හිටූවිමට පියවර ගෙන තිබිණ.

ඒ අනුව අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදීද මැතිවරණ කොමිෂන් සභාව ඇතුලු ස්වාධින කොමිෂන් සභාවලට නව සාමාජිකයන් පත්කිරීමට අදාළ දැන්වීම් පළකිරීම පිළිබදව සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

එහිදීද විපක්ෂනායකවරයා දැඩිව පෙන්වා දී ඇත්තේ මැතිවරණයක් කැදවා ඇති මේ මොහොතේ කොමිසමේ සාමාජිකයන්ට බලපාන කිසිදු තීන්දුවක් නොගත යුතු බවත්, මැතිවරණ කොමිසම ඉවත් කොට අනෙක් කොමිෂන් සදහා සාමාජිකයන් පත්කිරීමට දැන්වීම් පළ කිරීම පිළිබදව ගැටලුවක් නැති බවත්ය.

විපක්ෂනායකවරයා මෙසේ පවසද්දී කතානායකවරයා ‌ඇතුලු පිරිස පෙන්වා දී ඇත්තේ දැන්වීම් පළකළද ‌මැතිවරණ ක්‍රියාවලියට ඉන් කිසිදු බාධාවක් නොමැති බවත්, මෙම ක්‍රියාදාමය ආරම්භ වීමට තවත් සති 2ක් පමණ ගත වන බවත්ය.

නමුත් එහිදීද විපක්ෂනායකවරයා පෙන්වා දී ඇත්තේ තමන් ඊට දැඩිව විරෝධය පළකරන බවත්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල වී ඇති මේ මොහොතේ මෙවැන්නක් සිදු කළ යුතු නැති බවත්, තම විරෝධය නොතකා ව්‍යවස්ථාදායක සභාව කටයුතු කරන්නේ නම් තමන් සහ තම පක්ෂයේ නියෝජිතයා තවදුරටත් සභාවේ රැදී සිටීම සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු බවත්ය.

කෙසේවෙතත් විපක්ෂනායකවරයාගේ විරෝධය නොතකා දැන්වීම් පළ කිරීමට ව්‍යවස්ථාදායක සභාව තීන්දු කර තිබේ.

ඉන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාවේ සිදුකෙරෙන සාකච්ඡාවල තොරතුරු මාධ්‍ය වෙත ලබා දීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

මෙහිදී විපක්ෂනායකවරයා පෙන්වා දී ඇත්තේ ජනතා විරෝධී කටයුතු සිදුවන්නේ නම් තමන් ඒ පිළිබද තොරතුරු ජනතාවට දැනුම් දීමට පියවර ගන්නා බවකි.